අගමැති මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය ගැන ඉන්දීය රජයෙන් නිල නිවේදනයක්

අගමැති මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය ගැන ඉන්දීය රජයෙන් නිල නිවේදනයක්

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් ඉන්දියාව නිල වශයෙන් නිවේදනය කර තිබේ.

ඒ අනුව, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අප්‍රේල් මස 4 සිට 6 දක්වා ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයක නිරත වෙනු ඇති බවයි, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිල නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමග මෙම සංචාරය සඳහා ඉන්දීය විදේශ අමාත්‍යවරයා, ජාතික ආරක්ෂක උපදේශකවරයා, ඉන්දීය විදේශ ලේකම්වරයා සහ ඉන්දීය රජයේ තවත් ජ්‍යේෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු සහභාගීවීමට නියමිත බවද එරට විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසීය.

මෙම සංචාරයේදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සමග ද්විපාර්ශ්වි සාකච්ඡා පැවැත්වීමට නියමිත බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.

මෙරට රැඳීසිටින කාලය තුළදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අනුරාධපුර ජය ග්‍රී මහා බෝධීන් වහන්නේ වැඳපුදා ගැනීමට සහ ඉන්දීය රජයේ සහාය ඇතිව මෙරට ක්‍රියාත්මක වන ව්‍යාපෘති කිහිපයක් විවෘත කිරීමට නියමිත බවද සඳහන් වෙයි.

එමෙන්ම මෙම සංචාරය තුළදී දෙරට අතර අත්සන් තබන ලද අවබෝධතා ගිවිසුම් කිහිපයක් හුවමාරු කරගැනීමට ද නියමිතය.