හිඟ බදු ගෙවන්න මෙන්ඩිස් සමාගමට අවසන් දිනයත් දෙයි
ලබන 30 වනදා වන විට හිඟ බදු ගෙවීමට අපොහොසත් වුවහොත්, මෙන්ඩිස් සමාගමේ නිෂ්පාදන කටයුතු අත්හිටුවීමට පියවර ගන්නා බව සුරා බදු දෙපාර්තමේන්තුව ප්රකාශ කළා.
ඒ සම්බන්ධයෙන් වන උපදෙස් මේ වන විටත් අදාල සමාගමට යොමු කර ඇති බවයි, එහි උසස් නිලධාරියෙකු සදහන් කළේ.
මේ වනවිට වැට් බදු ගෙවීම පැහැර හැර ඇති මෙන්ඩිස් සමාගමට අයත් වැලිසර පිහිටි මත්පැන් නිශ්පාදනාගාරයේ නිශ්පාදන කටයුතු සීමා කිරීමට සුරාබදු කොමසාරිස්වරයා විසින් තීරණය කර තිබේ.
ඒ අනුව දෙපාර්තමේන්තුව පැනවූ සීමාවලට යටත්ව නිශ්පාදන කටයුතු සිදුකරන්නේ දැයි අධීක්ෂණය සඳහා නිලධාරීන් කණ්ඩායමක් ද යෙදවූ බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මේ වනවිට මෙන්ඩිස් සමාගම විසින් රජයට ගෙවිය යුතු හිඟ බදු මුදල රුපියල් බිලියන 5ක් ඉක්මවා ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
නියෝග ප්රකාරව බදු මුදල් ගෙවීම පැහැර හැරිම හේතුවෙන් ඔක්තොම්බර් 18 වැනිදා සිට මෙන්ඩිස් සමාගමේ හිමිකාර අර්ජුන් අලෝසියස් ඇතුළු සමාගම් අධ්යක්ෂවරු තිදෙනෙක් මේ වනවිට බරපතල වැඩ සහිත සිර දඬුවම් විඳිමින් සිටී.
මේ අතර, මාස 06 ක සිරදඬුවම් නියම කළ ඩබ්ලිව්.එම්.මෙන්ඩිස් සමාගමේ අධ්යක්ෂවරයෙකු වන රන්දෙව් දිනෙන්ද්ර ජෝන් නමැත්තා තමන්ව ඇප මත මුදා හරින ලෙස කළ ඉල්ලීම අභියාචනාධිකරණය ප්රතික්ෂේප කර තිබෙනවා.
කෙසේ වෙතත්, අදාල මහේස්ත්රාත් අධිකරණ තීන්දුවට එරෙහිව එම තැනැත්තා විසින් ඉදිරිපත් කළ පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන බව අභියාචනාධිකරණය කියා සිටියා.