විදේශ ගත ගෘහ සේවිකාවන් ගැන කෑ ගහන්න ඕනෑ තරම් අය හිටියට දේශීය ගෘහ සේවිකාවන් ගැන බලන්න කවුරුවත් නෑ

විදේශ ගත ගෘහ සේවිකාවන් ගැන කෑ ගහන්න ඕනෑ තරම් අය හිටියට දේශීය ගෘහ සේවිකාවන් ගැන බලන්න කවුරුවත් නෑ

විදේශ රැකියා වල නිතර ගෘහ සේවිකාවන්ට කරදර සිදුවන බවට කෑ ගැසීමට රාජ්‍ය නොවන සංවිධාන ඕනෑ තරම් තිබෙන නමුත්, ඉතා සුළු වැටුපකට වහලුන් මෙන් සේවය ලබාගන්නා දේශීය ගෘහ සේවිකාවන් සම්බන්ධයෙන් හඬක් නැගෙන්නේ නැති බවත්, මෙයට විසදුමක් ලබාදෙමින් ඔවුන්ට ගරුත්වයක් ලබාදෙන වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.

රටක් ලෙස අනාගතවාදී වී අනාගතය වෙනුවෙන් වැඩකලයුත බවද අවිධිමත් අංශයේ ශ්‍රමිකයින්ට ගරුත්වයක් ලබාදීම සඳහා ක්‍රියාත්මක “ගරු සරු” වැඩසටහන යටතේ ගෘහ සේවිකාවන් සමඟ අද (15) පැවති සාකච්ඡාවකදී පැවසුවේය.

අමාත්‍යවරයා මේ බව සදහන් කළේ අවිධිමත් අංශයේ ශ්‍රමිකයින්ට ගරුත්වයක් ලබාදීම සදහා ක්‍රියාත්මක “ගරු සරු” වැඩසටහන යටතේ ගෘහ සේවිකාවන් සමග පැවති සාකච්ඡාවකදීය

එහිදී අමාත්‍යරයා මෙසේද පැවසීය.
මේ රටේ සෑම වෘත්තියකම නිරත වෙලා පිරිසට විශේෂයෙන්ම අවිධිමත් අංශයේ වෘත්තීන් වල නිරත වෙලා ඉන්න පිරිසට ගරුත්වය ලබා දීමත් සාරවත්භාවයක් ලබාදීම තමයි මේ වැඩසටහනේ අරමුණ වෙන්නේ. ඒකට අවශ්‍ය පසුබිම හදන්නයි අපි කටයුතු කරන්නේ. එහිදී හැම වෘත්තකයෙක්ම වයසට ගියාම බලාගන්න වැඩ පිළිවෙලක් තියෙන්න ඕනේ.
අපි අවුරුද්දකට අධික කාලයක් මේ ගැන කතා කළා අවශ්‍ය මූලික වැඩකටයුතු කළා. අපි අද මේ කතා කරන්නේ නිසි වැඩ පිළිවෙලක් සමඟින් වගේම ඊට අවශ්‍ය මූලික අනුමැතීන් පවා ලබාගෙනයි. ලංකාවේ දැනට ඊ.ටී.එෆ්. ඊ.පී.එෆ්. වලට දායක වන්නේ ලක්ෂ විසි පහක පමණ පිරිසක් විතරයි. ඒ කියන්නේ හාම්පුතා සහ සේවකයා අතර සම්බන්ධතාවයක් තියෙන කොම්පැනි වල සෘජු රැකියා කරන අය තමයි මේකට දායක වෙන්නේ.
ඇත්තටම අනතුරක් වුනොත් ඒ ගැන බලාගන්න, අවුරුදු 55න් පස්සේ දීමනාවක් ලබා ගන්න හැකියාව ලැබෙන්නේ ඒ අයට විතරයි. ඒ වගේම මේ අයට මාතෘ නිවාඩු වගේ පහසුකම් ගොඩක් තියෙනවා.

හැබැයි තවත් රටේ වැඩ කරන ලක්ෂ පනහකට හැටකට වගේ පිරිසක් ඉන්නවා. ඒ අය අර කලින් කිව්ව වගේ රැකියා නොකරන අයයි. මේ අයට විශ්‍රාම වැටුපක් හෝ පාරිතෝෂික දීමනාවක්වත් වැනි කිසිවක් නැහැ. මේ අයට වැඩ කරගන්න බැරි වුනායින් පස්සේ ජීවත් වෙන්නේ කෙහොමද කියලා කවුරුවත් හොයලා බලන්නේ නැහැ.

හැමෝගෙන්ම වැඩගන්න පුළුවන් කාලයේ වැඩ ගන්නවා. ගෘහ සේවිකාව, මේසන් බාස්ට වගේම අනිකුත් හැම අවිධිමත් ක්ෂේත්‍රයකම නිරතවෙලා ඉන්න අය තමන්ගේ අතේ පයේ හයිය තියෙනකම් වැඩ කරනවා. ඊට පස්සේ ඒ අයට කිසිම ආරක්ෂාවක්, රැකවරණයක් නැතිවෙනවා.

අපි රාජ්‍ය සේවකයින් දිහා බලමු, ඒ අයට ජනතාවගේ බදු මුදල් වලින් වැටුපක් ගෙවනවා. ඒ වගේම ඒ අයට තියෙනවා විශ්‍රාම වැටුපක්. ඒ අය මැරෙනකම්ම ඒ විශ්‍රාම වැටුපට හිමිකම් කියනවා. ඒ අතරතුරදී මාතෘ නිවාඩු වගේ ගොඩක් පහසුකම් දීමනා තියෙනවා. පෞද්ගලික අංශයේ සේවකයින්ටත් ඒ වගේම පහසුකම් තියෙනවා. ඒ අයට විශ්‍රාම වැටුප වෙනුවට පාරිතෝෂික තියෙනවා.

ඒත් ගෘහ සේවයේ ඉන්න ඔබට මේ කිසිවක් නැහැ. එහෙනම් රටේ වැඩි පිරිසක් ඉන්න වක්‍ර රැකියා සහ අවිධිමත් අංශයේ වෘත්තීන් වලයි නිතරවෙලා ඉන්නේ. ඒත් රටේ ආර්ථිකයට දැවන්ත දායකත්වයක් ලබා දෙන ඔබට ඇතුලු මේ පිරිසට මම කලින් කිව්ව පහසුකම් ලබා ගැනීමේ හැකියාවක් නැහැ.

ඒ නිසා අපි කැබිනට් මණ්ඩලයට යෝජනා කළා මේ දේවල් පුළුල් කරලා සියලු වැඩ කරන ජනතාවට සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා අනුමැතිය ලබා දෙන්න කියලා. එහිදී කැබිනට් මණ්ඩලය මාස 6ක් ඇතුලත මේ වැඩපිළිවෙල ඉදිරිපත් කළයුතුයි කියලා අපිට කිව්වා.
මෙහිදී අපිට ඔබව සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලට සම්බන්ධ කරන්නේ කොහොමද කියලා ඉදිරිපත් කරන්නයි තියෙන්නේ. එතකොට මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වීමෙන් පස්සේ ඔබටත් අවුරු 55න් පස්සේ විශ්‍රාම වැටුපක් එහෙමත් නැත්තම් එකවර හිමිවෙන දිමනාවක්, හරියට ඊ.පී.එෆ්. ඊ.ටී.එෆ්. එක වගේ ක්‍රමයකට සම්බන්ධ වෙන්න පුළුවන්.
එහිදී ඔබටත් මාතෘ නිවාඩු හිමිවෙන, අනෙකුත් පහසුකම් ලැබෙන ක්‍රමවේදයක් සකස් කිරීම ගැන සාකච්ඡා කිරීමටයි අද ඔබට මෙතැනට පැමිණෙන ලෙසට ආරාධනා කළේ. ඒත් මේ ක්‍රමවේදය කම්කරු ඇමති විදිහට මම තනියම හදලා හරියන්නේ නැහැ.

නොදැනුවත්කම නැති කරගන්න පුළුවන් නම් ලෝකය ගොඩක් ඉස්සරහට යන්න පුළුවන්. අද සමාජයෙත් ලොකුම හතුරා වෙලා තියෙන්නේ නොදැනුවත්කමයි. බොහොවෙලාවට ප්‍රශ්න ඇති වෙන්නෙත් නොදැනුවත්කම නිසයි.

නිලධාරීන් එක්ක එකතු වෙලා වැඩපිළිවෙලවල් සකස් කරන්න යද්දි අපිට තියෙන ලොකුම ප්‍රශ්න වෙන්නේ නොදැනුවත්කමයි. අපි ඔබේ වෘත්තිය සම්බන්ධයෙන් දැනුවත් නැහැ. එනිසාමයි ඔබ රැකියාවේ නිතර වෙන ක්ෂේත්‍රයට ගරුත්වයක්, සාරවත්බවක් දෙන්නෙ කොහොමද කියලා අවබෝධ කරගැනීමට ඔබේ දැණුවත්කම, අත්දැකීම් අපිට අවශ්‍ය වෙන්නේ.

ගෘහ සේවිකාවන් විවිධ ගම් පළාත් වලට ඇවිල්ලා, රැකියාව කරනවා. ඒත් මේ අයගේ වැටුප පිළිබඳ කිසිම නිෂ්චිත බවක් නැහැ. ඒ නිසාම ඉතාම අඩු වැටුප් ලබන කාන්තාවන් ඉන්නවා. ඒ වගේම මේ අයගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සොයා බැලීම් වෙන්නෙත් ඉතාම අඩුවෙනුයි.

බෙහෙත් ටිකක් ගණ්න ගියාම, සමහර හාම්පුතුන් හොදනම් ගැටලුවක් නැහැ ඒත් හම්පුතා හොඳ නැත්තම් අපහසුතා ඇති වෙනවා. ඒ වගේම මේ අයට ගෘහස්ථව සිදුවන හිංසන, ඒවාට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවාද? ඒවාට කාටද පැමිණිලි කරන්නේ? කවුද ඒ අය ගැන බලන්න? කියන කාරණා ගැනත් අපි කතා කළයුතුයි.

ඒ වගේම ඔබට හරියට නිදා ගන්න තැනක් දෙනවාද? ඒකට හරියන පහසුකම් ඒ නිවාස තුල තියෙනවාද? කියන කාරණා ප්‍රශ්ණයක් වෙලා තියෙනවා. ගෘහ සේවයට එන සමහර අයගෙත් විවිධ ප්‍රශ්ණ තියෙනවා. ඒ වගේම එයාලා හොරකම් කළා, අරහෙම කළාමෙහෙම කළා වගේ නොයෙකුත් පැමිණිලි එන්නත් පුළුවන්. ඒ සඳහාත් අපි විසදුමක් හොයමු.
අද වෙනකොට ඕනෑම කෙනෙකුට ඇවිල්ලා වැඩ කරන්න පුළුවන්. අපි ඒක වෙනස් කරමු. ඔබටත් වෘත්තිය ගරුත්වය දෙන්න නම් ඒ සදහා යම් කිසි ක්‍රමවේදයක් ඔබ යෝජනා කළයුතුයි. උදාහරණයක් විදිහට ගෘහ සේවය සදහා විදේශගත වෙනවා නම් ඒ සදහා එන්.වී.කිව් 3 මට්ටමේ සහතිකයක් තියෙන්න ඕනේ.

ඒ වගේම ඔබත් පුහුණුවක් ඕනේද? ඒ වගේම අවුරුද්දකට සැරයක් ඒ තත්ත්වය තියෙනවාද? සෞඛ්‍ය තත්ත්වය හොඳද කියලා බලන ක්‍රමවේදයක් නැත්තම් කොයි විදිහටද මේ වෘත්තියේ ගුණාත්මකභාවය තියාගෙන යන්නේ? වැටුප් තලයන් කොහොමද තීරණය කරන්නේ ? කියන කාරණා සකස් කරගත්තොත් මේ රටේ ගෘහ සේවයටත් ගෞරවණීයභාවයක් දෙන්න පුළුවන්.

අපේ රටේ ඕනේම කෙනෙක්ව ගෙදර වැඩට ගන්න පුළුවන්. හැබැයි විදේශ රටවලදී ගෙදරට වැඩට ගන්නවා නම් ඒ සඳහා රජයෙන් විශේෂ අනුමැතියක් ගතයුතුයි. එහිදී මේ සේවයට ගන්න කෙනාට නිදාගන්න පහසුකම් තියෙනවාද? වැඩ කරන කොනාට ටීවී එකක් බලන්න ඉඩක් කඩක් තියෙනවාද? සෞඛ්‍ය පහසුකම් තියෙනවාද? කියල බලලයි රජයෙන් ගෙදරට වැඩට කෙනෙක් ගන්න අනුමැති දෙන්නේ.

අපි කියන්නේ අපේ රටෙත් එහෙම ක්‍රමවේදයක් තිබිය යුතුයි. කෙනෙක් වැඩට ගන්න හිතුනාම කෙනෙක් ගෙන්වන්න බැරි වෙන ඒ වැඩට ගන්න කෙනාට දෙන අවශ්‍ය අවම පහසුකම් මොනවාද කියලා බලලා ඒවා සපයන්න පුළුවන්නම් විතරක් කෙනෙක් වැඩට ගන්න ක්‍රමවේදයක් නිර්මාණය කිරීමටයි අපි කටයුතු කළයුත්තේ.
අපි බලාපොරොත්තු වෙනවා ඔබේම වෘත්තීය සංවිධානයක් ගොඩනගන්න. ඒක වෘත්තීය සමිතියක් නෙමෙයි. නීතිඥයින්ට නම් නීතීඥ සංගමයක් තියෙනවා. ඒක වෘත්තීය සමිතියක් නෙමෙයි. ඒක නීතිඥ වෘත්තිය වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක්.

ගෘහ නිර්මාණ ශිල්පීන්ටත්, ගණකාධිකාරීවරුන්නටත් වෙනම සංවිධාන තියෙනවා. ඒවා පෙනී ඉන්නේ වෘත්තිය වෙනුවෙන්. ඉතින් අපි කියන්නේ ගෘහ සේවිකාවන්ටත් ඔවුන් සියලුදෙනා එකතුවෙලා ඒ වගේ ඔවුන්ගේ වෘත්තිය වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක් පිහිටවියුතුයි කියලයි. එහිදී අපි ඒ සංවිධානයට නෛතික බලයක් දෙන්නත් අලුත් කම්කරු නීතිය යටතේ කටයුතු කරනවා.