හිටපු ඇමති මනූෂ මෙතෙක් ප්‍රකාශයක් දී නැහැ – CIDය කියයි

හිටපු ඇමති මනූෂ මෙතෙක් ප්‍රකාශයක් දී නැහැ – CIDය කියයි

හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇතත් මේ වෙන තෙක් ප්‍රකාශයක් ලබාදී නොමැති බව රහස් පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය ඉදිරියේ කරුණු දක්වමින් අද (20) පැවසීය.

වීසා ගැටලුවක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළඳාම් හා ජාවාරම් කිරීමේ ඒකකය මගින් විමර්ශනයක් ආරම්භ කළ බවත්, එම විමර්ශනයේ ලේඛන කීපයක් සම්බන්ධයෙන් ස්ථාවරය දැන ගැනීම සඳහා ප්‍රකාශයක් ලබාදීමට නානායක්කාර මහතා දෙපාර්තමේන්තුවට කැඳවා ඇති බවත්, ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස් කේ සේනාරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

සිදුකරන විමර්ශන සම්බන්ධයෙන් වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කර ඇති බව සඳහන් කළ ස්ථානාධිපතිවරයා, නානායක්කාර මහතා එම සිද්ධියට අදාළව මෙතෙක් සැකකරුවකු ලෙස නම් කර නොමැති බවත් දන්වා සිටියේය.

අත්අඩංගුවට පත්වුවහොත් පූර්ව ඇපයක් ලබා ගැනීම සඳහා නානායක්කාර මහතා විසින් ඉදිරිපත් කර ඇති ඇප අයදුම්පත කැඳවූ අවස්ථාවේදී රහස් පොලිසිය මෙම කරුණු ඉදිරිපත් කළේය.