රෝහලේ වරදින් කාන්තාවක් මියයාමේ සිද්ධියට වෛද්‍යවරයෙකු ඇතුළු 4කගේ වැඩ තහනම්

රෝහලේ වරදින් කාන්තාවක් මියයාමේ සිද්ධියට වෛද්‍යවරයෙකු ඇතුළු 4කගේ වැඩ තහනම්

මන්නාරම දිස්ත්‍රික් රෝහලේදී තරුණ උපාධීධාරී කාන්තාවක් අධික ලෙස රුධිරය වහනය වී මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය වෛද්‍යවරයෙකු ඇතුළු හතර දෙනෙකුගේ සේවය ඊයේ (20) සිට අත්හිටුවා තිබෙනවා.

මන්නාරමේ මුරුන්කන් ප්‍රදේශයේ පදිංචි මරියරාජ් සින්ධුජා නමැති මෙම 27 හැවිරිදි උපාධිධාරි කාන්තාව මුරුන්කන් රෝහලේදී දරුවකු ප්‍රසූත කළ අතර, ඇය ආපසු නිවසට යාමෙන් පසුව අධික ලෙස රුධිරය වහනය වීම හේතුවෙන් යළි මුරුන්කන් රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඇයව මන්නාරම රෝහල වෙත මාරු කර තිබුණා.

එහිදී ඇය ඇතුළත් කළ වාට්ටුව කාර්යභාර වෛද්‍යවරයා, හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලය මෙම සිද්ධිය සාමාන්‍ය රුධිරය වහනය වීමක් ලෙස සලකා රෝගී කාන්තාවට ප්‍රතිකාර ලබා දී නොමැති බවටයි වාර්තා වෙන්නේ.

පැය කිහිපයකට පසුව එම කාන්තාව මිය ගොස් ඇති අතර, ඇයගේ මව වීසින් ජනාධිපතිවරයාගේ සිට සියලුම බලධාරීන්ට පෙත්සම් ඉදිරිපත් කිරීමෙන් පසුව සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ දෙකක් ආරම්භ කර තිබෙනවා.

උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා හා සෞඛ්‍ය අමාත්‍යංශය විසින් එම පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, එහිදී එදින සේවයේ නිරතව සිටි මන්නාරම රෝහලේ කාර්යභාර වෛද්‍යවරයා හෙදියන් දෙදෙනෙකු හා පවුල් සෞඛ්‍ය සේවිකාවක් වරදකරුවන් බවට හඳුනා ගැනීමෙන් පසුවයි ඔවුන්ගේ සේවය මෙසේ අත්හිටුවා ඇත්තේ.

එම ලිපි මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් අදාළ නිලධාරීන් වෙත ලබා දී ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු තව දුරටත් සිදුවෙමින් පවතින බව වාර්තා වෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා වරදකරුවන්ට දඩුවම් ලබා දෙන ලෙස ඉල්ලමින් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන කීපයක්ම ශ්‍රී ලංකාවේ ඉහල පෙලේ සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබෙන බවයි වාර්තා වෙන්නේ.