මැතිවරණ රැලිවලට ගෙන්න ගන්න වතු කම්කරුවන්ට ප්‍රමිතියෙන් තොර රා බෙදලා

මැතිවරණ රැලිවලට ගෙන්න ගන්න වතු කම්කරුවන්ට ප්‍රමිතියෙන් තොර රා බෙදලා

ජනපති සටනේ මැතිවරණ රැලි සඳහා වතුකරයේ ජනතාව සහභාගී කරවා ගැනීමට බෝතල් කළ බාල තත්ත්වයේ රා නොමිලේ බෙදාදෙන බවට පැමිණිලි ගණනාවක් ලැබී ඇතැයි ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා පවසනවා.

නිසි ප්‍රමිතියකින් තොර රා බෝතල් වතුකම්කරුවන්ට ලබාදීම නිසා ඔවුන් සේවයට වාර්තා කිරීම අඩාල වී ඇති බවත්, ඔවුන්ගේ කාර්යක්ෂමතාව ද පහළ වැටී ඇති බවත්, වතු අධිකාරිවරු ඇතුළු වතු පාලනාධිකාරීන් පැමිණිලි ඉදිරිපත් කර ඇති බවයි ඔහු පවසන්නේ.

මෙසේ මැතිවරණ රැලි සඳහා සහභාගී කරවා ගැනීමට නිසි ප්‍රමිතියකින් තොර රා බෝතල් ලබාදීම මැතිවරණ නීති බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් බව ඔහු පවසනවා.

එමෙන්ම බාල රා නොමිලේ ජනතාව අතර බෙදාහැරීම දුම්කොළ හා මධ්‍යසාර පනතට අනුව ද වරදක් වන බවයි හෙතෙම සඳහන් කළේ.

බාල මධ්‍යසාර වර්ග ජනතාව අතර ගැවසීම සෞඛ්‍යමය හානි ගණනාවකට තුඩු දෙන අතර, දිගුකාලීන වශයෙන් ගත්විට එමගින් වතුකරයේ ශ්‍රම බළකායේ කාර්යක්ෂමතාව අඩාලවීමද සිදුවන බැවින් මහජන සෞඛ්‍ය පරීක්ෂකරවරු ඇතුළු සෞඛ්‍ය අංශ මේ සම්බන්ධයෙන් මැදිහත් විය යුතු බව විධායක අධ්‍යක්ෂවරයා පැවසීය.