මල්වතුහිරිපිටියේ දී වෙඩි වැදුණු සැරයන් මරුට

මල්වතුහිරිපිටියේ දී වෙඩි වැදුණු සැරයන් මරුට

මල්වතුහිරිපිටිය පොලිස් වසමේ, බටේපොළ ප්‍රදේශයේදී සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී වෙඩි වැදුණු පොලිස් සැරයන්වරයා මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

ඉකුත් 10 වන දා අලුයම් කාලයේදී අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී සැකකරු ඊට ප්‍රතිරෝදය පා ඇති අතර ඔහු විසින් එම ස්ථානයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් සැරයන්වරයාගේ රාජකාරි ගිනිඅවිය උදුරා ගැනීමට උත්සහ කර ඇත.

එම අවස්ථාවේදී එය පාලනය කිරීමට ගොස් ගිනිඅවිය ක්‍රියාත්මක වී පොලිස් සැරයන්වරයාට වෙඩි වැදී ඇතැයි පොලිසිය පැවසීය.

අනතුරුව ප්‍රතිකාර සඳහා පොලිස් නිලධාරියා ගම්පහ රෝහලටත් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලටත් ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (11) රාත්‍රියේ මියගොස් ඇත.

එලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 51 වූ මණ්ඩාවල ප්‍රදේශයේ පදිංචි මල්වතුහිරිපිටිය පොලිස් ස්ථානයේ සැරයන්වරයෙකි.

සිද්ධියෙන් අනතුරුව සැකකරු ගිනිඅවිය ද සමග පළා ගොස් ඇතත් ඊයේ දින ගෝනහේන විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් ලද තොරතුරක් මත බිංගිරිය පොලිස් වසමේ බෝවත්ත ප්‍රදේශයේ වැටලීමක් කර සැකකරු, කොල්ලකන ලද රිවෝල්වරය ද සමග අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පැවසීය.

ගිනිඅවියට අමතරව සැකකරු සන්තකයේ තිබී මිලිමීටර් 9 වර්ගයේ පතරොම් 3ක් සහ ඔහු පැමිණි ත්‍රිරෝද රථය ද පොලිස් භාරය ගෙන ඇත.

පොලිසිය සඳහන් කළේ, සැකකරුට සැඟව සිටීමට ආධාර අනුබල දුන් සැකකාරියක ද අත්අඩංගුවට ගෙන ගම්පහ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති බව ය.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 42ක් වන වතුරගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර සැකකාරිය වයස අවුරුදු 35ක් වන උඩුබද්දාව ප්‍රදේශයේ පදිංචිකාරියකි.

ගම්පහ සහ මල්වතුහිරිපිටිය පොලිස් ස්ථාන සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.