ජීවිත තර්ජන හමුවේ මුලතිව් මහේස්ත්‍රාත් ධුරයෙන් ඉල්ලා අස්වෙයි!

ජීවිත තර්ජන හමුවේ මුලතිව් මහේස්ත්‍රාත් ධුරයෙන් ඉල්ලා අස්වෙයි!

තමාට එල්ලවී ඇති ජීවිත තර්ජන සහ දැඩි මානසික ආතතිය හේතුවෙන් තමා දරන විනිසුරු ධූරවලින් ඉල්ලා අස්වීමට තීරණය කළ බව මුලතිව් දිසා විනිසුරු ටී.සරවනරාජා මහතා ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව, ඔහු දිසා විනිසුරු ධූරය, මහේස්ත්‍රාත් ධූරය, පවුල් අධිකරණ විනිසුරු ධූරය, ප්‍රාථමික අධිකරණ විනිසුරු ධූරය, කුඩා හිමිකම් උසාවි විනිසුරු ධූරය සහ බාල වයස්කාර අධිකරණ විනිසුරු ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඊට අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය සැප්තැම්බර් මස 23 වෙනිදා ලියූ බවත් එය අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයා වෙත නොයවා තමන්ගේ ආරක්ෂාවට යමක් සිදු වේ දැයි බලා සිටිය නමුත් එවැන්නක් සිදු නොවීම නිසා තමන් එම ලිපිය අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත යැවූ බව මහෙස්ත්‍රාත්වරයා සදහන් කරයි.

මුලතිව් දිස්ත්‍රික්කයේ ආන්දෝලනයට ලක් වු සිද්ධීන් කීපයක් සම්බන්ධයෙන් ලබා දුන් නඩු තීන්දු වලින් පසුව මෙවැනි තත්තවයක් උදා වූ බව ටී.සරවනරාජා මහතා සඳහන් කර තිබේ.

මෑත කාල සීමාවේදී වැඩි අවධානයක් හිමිවූ සිදුවීම් දෙකකට අදාළ නඩු කටයුතු පැවතියේ මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේය.

කුරුන්දි විහාරය සම්බන්ධ නඩු කටයුතු පැවැත්වුණේ ටී. සරවනරාජා විනිසුරුවරයා ඉදිරියේදීය.

කොක්කුතුඩුවායි ප්‍රදේශයෙන් මිනිස් අස්ථි කොටස් සොයා ගැනීමේ සිද්ධියට අදාළ මුලික පරීක්ෂණ කටයුතු සිදුකෙරුණේ ද විනිසුරු සරවනරාජා මහතා ඉදිරියේය.

මුලතිව් මහෙස්ත්‍රාත්වරයා යොමු කළ බව කියන එවැනි ලිපියක් අධිකරණ අමාත්‍යංශය වෙත හෝ තමන්ට මෙතෙක් ලැබී නොමැති බවත් ඒ ගැන තමන් සොයා බලන බවත් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත අදහස් පල කරමින් කියා සිටියේය.

Share This