විදුලි බිල අඩුවෙන හැටි ඇමති කියයි

විදුලි බිල අඩුවෙන හැටි ඇමති කියයි

ලබන ජූලි මස 1 වැනිදා සිට විදුලි බිල අඩු කිරීමට යෝජනා කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඒ අනුව ගෘහස්ත කාණ්ඩයේ පාරිභෝගිකයින්ට වැඩි සහනයක් ලබාදීමට නියමිත බවත් එම යෝජනාවට මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය හිමිවනු ඇතැයි අපේක්ෂා කරන බවත්, අමාත්‍යවරයා පැවසීය.

ඒ අනුව ඒකක 0 -30 අතර ඒකකයක මිල රුපියල් 8ත් 6ත් දක්වාද, ඒකක 30-60 රුපියල් 20 සිට 9 දක්වාද , ඒකක 60-90 රුපියල් 30 සිට 18 දක්වාද , ඒකක 90- 180 රුපියල් 50 සිට 30 දක්වා ද අඩුකරන බව ඇමති කංචන පාර්ලිමේන්තුවේ දී කියයි.

මේ අතර නව විදුලි පනත සම්මත වීමෙන් අනතුරුව විදුලිබල මණ්ඩලයේ සමහරුන්ට තිබෙන බිස්නස් නැති වී යන බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසුවා.

විදුලිබල මණ්ඩලය තරම් ඒකාධිකාරයට ග්‍රහණය වූ වෙනත් ආයතනයක් රටේ නැතැයි ද පැවසූ අමාත්‍යවරයා නව විදුලි බල පනත ඉදිරිපත් කරමින් මෙසේද පැවසීය.

මේ පනතට අදහස් ගන්න සියලු දේශපාලන පක්ෂ වලට ආරාධනා කළා .නමුත් ආවේ කිහිප දෙනෙක් පමණයි.

තිබුන ආණ්ඩුව ගෙදර යවන්නත්, ගෝඨාභයට එරෙහිව ජනමතයක් ගොඩනගන්නත් විදුලි බල මණ්ඩලයේ ක්‍රියා කලාපය ඉවහල් වුණා.මේ පනත් කෙටුම්පත ගෙන විත් තිබෙන්නේ සියලු පාර්ශව සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුවයි.

විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිතිවලට අද දහ දෙනෙක් එලියට ගෙන්න ගන්න බෑ. සම්පූර්ණයෙන් විශ්වාසය බිඳගෙන. විදුලි සේවකයන් බහුතරයක් මේ සංශෝධන වලට පක්‍ෂයි.

මේ පනත සම්මත වූ පසුව සමහරුන්ට තිබෙන බිස්නස් නැති වෙනවා. ගස් අතු කපන්නේ පවා සබඳතා ලබා දෙන්නේ පවා පෞද්ගලික ආයතන.

Share This