ළමා නිවාස පාලිකාවගේ පහරදීම් ඉවසාගත නොහැකිව 14 හැවිරිදි දැරියක් විෂ බිජ නාශක දියර බීලා

ළමා නිවාස පාලිකාවගේ පහරදීම් ඉවසාගත නොහැකිව 14 හැවිරිදි දැරියක් විෂ බිජ නාශක දියර බීලා

නාරහේන්පිට ළමා සුබසාධන හා සංවර්ධන මධ්‍යස්ථානයක ප්‍රධාන පාලිකාවකගේ සහ සේවිකාවකගේ බැණවැදීම් සහ පහරදීම් ඉවසාගත නොහැකි වූ 14 හැවිරිදි දැරියක් වැසිකිලි පිරිසිදු කිරීමට ගන්නා විසබීජ නාශක දියරයක් පානය කිරීමෙන් රෝහල් ගතකර තිබේ.

කුඩා දැරියක් විෂබීජ නාශක දියර පානය කිරීමෙන් නාරහේන්පිට ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක් වෙත ඇතුළත් කර ඇති බවට ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය නාරහෙන්පිට පොලිසිය වෙත ලබා දුන් දුරකථන පණිවුඩයක් අනුව ළමා සංවර්ධන මධ්‍යස්ථානය වෙත ගිය නාරාහේන්පිට පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය පරීක්ෂණ ආරම්භ කළ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.

සිදුකළ විමර්ශනවලදී ඉකුත් 6 වෙනි දින දහවල් දැරියට එම ළමා නිවාසයේ ප්‍රධාන පාලිකාව සහ මුළුතැන් ගෙයි සේවිකාව බැණවදිමින් පහරදී ඇති අතර එහිදී දැරිය වැසිකිලි පිරිසිදු කිරීමට ගන්නා විෂබීජ නාශක දියරයක් පානය කර ඇතැයි පොලිසිය කියයි.

එහිදී පාලිකාව සහ මුලුතැන්ගෙයි සේවිකාව දැරියට ” බිපන් තව බීපන් තව බීපන් මැරෙන්නම බීපන්” යැයි පවසමින් විෂබීජ නාශක දියර අඩංගු බෝතලය ඇය අසලම තබා තව තවත් පහර දී ඇති බව විමර්ශනවලදී හෙළිවී ඇත.

අදාළ සිදුවීමට මේ වනවිට දැරියගෙන්, ප්‍රධාන පාලිකාවගෙන්, මුළුතැන්ගෙයි සේවිකාවගෙන් ඇතුළු පස් දෙනෙකුට ආසන්න පිරිසකගෙන් ප්‍රකාශ ලබාගෙන තිබේ.

දැරිය මේ වන විට කොළඹ ජාතික රෝහලේ අංක 46 වාට්ටුවේ ප්‍රතිකාර ලබන බවයි රෝහල් ප්‍රකාශකයකු පැවසුවේ.

Share This