ලක් මව රනින් සැරසූ ශ්‍රී ලංකා සහාය දිවීමේ කණ්ඩායම් දිවයිනට

ලක් මව රනින් සැරසූ ශ්‍රී ලංකා සහාය දිවීමේ කණ්ඩායම් දිවයිනට

තායිලන්තයේ පැවති පළමු වැනි ආසියානු සහාය දිවීමේ ශූරතා තරගාවලියට සහභාගී වූ මීටර් 400 × 4 පිරිමි කණ්ඩායම රන් පදක්කමත්, මිශ්‍ර මීටර් 400 × 4 සහාය දිවීමේ කණ්ඩායම රිදී පදක්කමත් දිනා ඊයේ (22) රාත්‍රියේ දිවයිනට පැමිණියේය.

මෙම තරගාවලිය තායිලන්තයේ බැංකොක් නුවර ඉකුත් 20 වැනි දින සිට 22 දින දක්වා පැවැත්විණි.

එහිදී මීටර් 400 × 4 සහාය දිවීමේ තරග ඉසව්ව සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ කාලිංග කුමාර, අරුණ දර්ශන, පසිදු කොඩිකාර සහ දිනුක දේශාන් ක්‍රීඩකයින් විශිෂ්ඨ දක්ෂතා දක්වමින් ප්‍රථම ස්ථානයට පත් වෙමින් රන් පදක්කම දිනා ගැනීමට සමත් වී තිබුණි.

එසේම මීටර් 400 × 4 මිශ්‍ර සහාය ධාවන ඉසව්වේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එයට සහභාගී වූ අරුණ දර්ශන, පසිදු කොඩිකාර, සයුරි මෙන්ඩිස් සහ නදීශා රාමනායක එම තරගයෙන් දෙවන ස්ථානය ලබා ගනිමින් රිදී පදක්කම දිනා ගැනීමට සමත් වී තිබුණි.

මීට අමතරව මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකා මීටර් 100 × 4 පිරිමි කණ්ඩායම සහ මීටර් 100 × 4 කාන්තා කණ්ඩායම සිව් වන ස්ථානය දිනා ගැනීමට සමත් වී තිබුණි.

මෙම ජයග්‍රාහී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිස ඊයේ රාත්‍රී 10.12 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට එයාර් ඒෂියා ගුවන් සේවයේ එෆ්.ඩී.- 140 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා මළළ ක්‍රීඩා ආයතනයේ නිලධාරීන්, මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දෙමාපියන්, නෑදෑ හිතවතුන් ශ්‍රී ලංකා යූධ හමුදා සහ නාවික හමුදා නිලධාරීන් පිරිසක් ද ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.