කුළුබඩු ප්‍රතිඅපනයනයට අවසර දුන් ගැසට්ටුව අත්හිටුවයි

කුළුබඩු ප්‍රතිඅපනයනයට අවසර දුන් ගැසට්ටුව අත්හිටුවයි

ගම්මිරිස් ඇතුළු කුළුබඩු වර්ග කිහිපයක් ප්‍රතිඅපනයනය සඳහා මෙරටට ආනයනය කිරීමට අවසර දීමට රජය විසින් පළ කළ ගැසට් නිවේදනය අත්හිටුවීමට තීරණය කර තිබේ.

ගම්මිරිස්, සාදික්කා, වසාවාසි, කහ, ඉඟුරු හා කරදමුංගු ආදි ශ්‍රී ලංකාවේ වැවෙන කුළුබඩු වර්ග කිහිපයක් ප්‍රති අපනයනය සඳහා මෙරටට ආනයනය කිරීමට අවසර දෙමින් රජය ගැසට් නිවේදනයක් නිකුත් කළේය.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (11) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවේ දී අදාල ගැසට් නිවේදනය සම්බන්ධව විරුද්ධත්වය පළ කර ඇත.

විශේෂයෙන් මෙම කුළුබඩු වර්ග ප්‍රතිඅපනයනය සඳහා ආනයනයට අවසර දීම මගින් දේශීය කුළුබඩු ගොවියා අධෛර්මත්වන බවත්, එමනිසා දේශීය කුළුබඩු නිෂ්පාදන වගාව කඩා වැටෙන බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කර තිබේ.

එමෙන්ම දැනට ලෝකයේ හොඳම කුළුබඩු ලෙස සන්නාම අතර පළමු ස්ථානයේ සිටින ශ්‍රී ලංකාවේ කුළුබඩු වල ප්‍රමිතිය සඳහා මෙමගින් ප්‍රබල බලපෑමක් එල්ල වන බව අමාත්‍යවරයා පෙන්වා දී ඇත.

මෙම කරුණු සැලකිල්ලට ගත් ජනාධිපති ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය අදාල ගැසට් නිවේදනය අත් හිටුවීමටත්, ප්‍රතිඅපනයනය සඳහා කුළුබඩු මෙරටට ආනයනය කිරීම අත් හිටුවීමටත් තීරණය කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Share This