කෝවිල අලුත් වැඩියාවට ලැබුණු කෝටි 5ත් අරගෙන පූසාරි අතුරුදන්

කෝවිල අලුත් වැඩියාවට ලැබුණු කෝටි 5ත් අරගෙන පූසාරි අතුරුදන්

යාපනයේ කොකුවිල් පොල්පති පිල්ලයාර් කෝවිලේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා විදේශ රටවල සිට එවන ලද රුපියල් කෝටි පහකට වැඩි මුදලක් රැගෙන කෝවිලේ පූසාරිවරයා දින කීපයක සිට අතුරුදහන්ව ඇතැයි කොකුවිල් ප්‍රදේශවාසීහු පවසයි.

එම පැරණි කෝවිල ප්‍රතිසංස්කරණය කිරීමට කෝවිල් බාරකාර මණ්ඩලය තීරණය කිරීමෙන් පසුව පූසාරිවරයා ඒ බව විදේශ රටවල සිටින හින්දු බැතිමතුන්ට හා හින්දු සංගම් වලට දැනුම් දී තිබේ.

මෙම කෝවිල ඉතා ප්‍රසිද්ධ කෝවිලක් බැවින් විදෙස් රටවල සිටින පිරිස් රුපියල් ලක්ෂ ගණනින් මුදල් පූසාරිවරයා වෙත එවා තිබේ.

පූසාරිවරයා නැකැත් බලා එම කෝවිලේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කොට ඇත්තේ කෝවිලේ විශාල බිත්ති කීපයක්ද කඩා දමමිනි.

ප්‍රතිසංස්කරණ කටයුතු වලට සහභාගී වූ පිරිසට එදිනට මුදල් ගෙවූ පූසාරීවරයා පසුදින සිට අතුරුදහන්ව සිටින අතර ඔහුගේ ජංගම දුරකතන දෙකද ක්‍රියා විරහිත කොට ඇති බව ගම්වැසියෝ ප්‍රකාශ කලහ.

මේ පිළිබදව ප්‍රදේශවාසීන් කොකුවිල් පොලීසියට පැමිණිලි කිරීමට තීරණය කොට තිබේ.