සරුංගලයෙන් ගුවන්ගත වූ යාපනයේ තරුණයා

සරුංගලයෙන් ගුවන්ගත වූ යාපනයේ තරුණයා

යාපනය තොණ්ඩමානාරු ප්‍රදේශයේ තරුණයෙකු සරුංගලයක ලණුවේ එල්ලි අඩි 80 ක් පමණ ඉහළ අහසේ පියාසර කොට නරඹන්නන් මවිතයට පත් කළ සිද්ධියක් ඊයේ (17) තොණ්ඩමානාරු ප්‍රදේශයෙන් වාර්තා විය.

ඔහු සරුංගලයේ ලණුවේ එල්ලී තොණ්ඩමානාරු කෝවිලට ඉහලින් පියාසර කරමින් කෝවිලට නමස්කාර කර පසුව ඒ ලණුවේ ආධාරයෙන්ම බිමට බැස තිබේ.

යාපනය තොණ්ඩමානාරු ප්‍රදේශයේ තරුණයින් පිරිසක් යාපනයේ වැල්වෙට්ටිතුරේ පැවති සරුංගල් තරගයට ඉදිරිපත් කිරීම සදහා අඩි 40 ක් පමණ උස දැවැන්ත සරුංගලයක් නිර්මාණය තිබේ.

යන්ත්‍රානුසාරයෙන් එම සරුංගලය අහසට යැවීමට ඔවුන් පියවර ගෙන තිබුණද කාර්මික දෝෂයක් හේතුවෙන් එම සරුංගලය නියමිත දිනයේදී තරගයට ඉදිරිපත් කිරීමට නොහැකි වී තිබිණි.

මේ නිසා එම තරුණයෝ තොණ්ඩමානාරු කෝවිල අසල පිට්ටනියේදී එම සරුංගලය මහජනයාට දැක ගන්නට අහසට යවා තිබේ. එම අවස්ථාවේදී එක් තරුණයෙකු සරුංගලයේ ලණුව දිගේ ඉහලට ගොස් තිබේ.

මීට වසර දෙකකට පමණ ඉහතදී යාපනයේ පුද්ගලයෙකු සරුංගලයේ ලණුවේ එල්ලී සිටියදී ඔහු අඩි සීයක් පමණ උසකට ඉහළ අහසට පාවී ගොස් ඉතා ආයාසයෙන් පහලට රූටා පැමිණ බිම ඇද වැටී ජීවිතය ගලවා ගෙන තිබුණේය. නමුත් මෙවර තරුණයා සිය කැමැත්තෙන් ජනතාවට සන්තෝෂයක් ලබා දීම පිණිස මෙම ක්‍රියාව සිදු කර ඇත.

මෙහිදී නරඹන්නන් ගෙන් විශාල පිරිසක් ප්‍රීතියට පත්ව ඔල්වරසන් දෙන්නට වූ අතර තවත් පිරිසක් ඉතා බියෙන් කෑ ගසමින් සිටියේ තරුණයා ලණුවෙන් ලිස්සා බිමට ඇද වැටේ යැයි යන බිය නිසාය.

කෙසේ වෙතත් යාපනයේදී නිර්මාණය වන දැවැන්ත සරුංගල් යන්ත්‍රානුසාරයෙන් අහසට යැවෙන අතර ඒවා ක්‍රියාත්මක කිරීමට නූල් ප්‍රමාණවත් නොවන නිසා විශාල කඹ උපයෝගී කරගෙන එම සරුංගල් මෙහෙයවනු ලබයි.

Share This