කිරලෝගම විහාරස්ථානයේ ස්වාමීන්වහන්සේ ඝාතනයට අයෙක් අත්අඩංගුවට

කිරලෝගම විහාරස්ථානයේ ස්වාමීන්වහන්සේ ඝාතනයට අයෙක් අත්අඩංගුවට

එප්පාවල පොලිස් වසමේ කිරලෝගම ප්‍රදේශයේ හුදකලා විහාරස්ථානයක වැඩ විසූ ස්වාමීන් වහන්සේ නමක් එම විහාරස්ථානය තුළදීම ඝාතනය කල බවට සැක පිට එම විහාරස්ථානයේ හිමි නමට අයත් ත්‍රීරෝද රථය පැද වූ තරුණයකු සැක පිට එප්පාවල පොලීසිය ඊයේ (27) පස්වරුවේ අත්අඩංගුව ගෙන ඇත.

පොලිස් නිළධාරීන් හා යුධ හමුදා බුද්ධි අංශ නිළධාරීන් එක්ව කළ මෙහෙයුමකින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු මේ වන විට අනුරාධපුර ශීක්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇති අතර, අද (28) පස්වරුවේ තඹුත්තේගම මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ 26 හැවිරිදි තරුණයෙකි.

ඔහු මීට දින කීපයකට ඉහතදී ඝාතනයට ලක් වූ හිමිනමගේ ත්‍රීරෝද රථයේ රියදුරු ලෙස සේවයට පැමිණ, පසුගිය 23 වැනි දින පස්වරුවේ හිමිනම සමග බහින්බස් වීමක් ඇති වී පොල්ලකින් උන්වහන්සේට පහරදී උන්වහන්සේගේ ජංගම දුරකථන දෙකද රැගෙන විහාරස්ථානයේ ත්‍රීරෝද රථයෙන් එප්පාවල දෙසට පැමිණි බවත්, එසේ පැමිණෙමින් සිටියදී ත්‍රීරෝද රථයේ දෝෂයක් ඇති වීම හේතුවෙන් ත්‍රීරෝද රථය එප්පාවල රෝහල ඉදිරිපිට දමා, වෙනත් ත්‍රීරෝද රථයකින් එප්පාවල නගරයට ගොස් තවත් ත්‍රීරෝද රථයක නැගී අනුරාධපුරයට ගොස් බස් රථයකින් කටුනායක දක්වා ගමන් කර ඇතැයි පොලීසිය පවසයි.

ඔහු සතුව ස්වාමීන්වහන්සේගේ දුරකථනයක් පැවතීම හේතුවෙන් එම දුරකථන විශ්ලේෂණ වාර්ථා අනුව සැකකරු සිටින ස්ථාන හදුනාගෙන, ඔහු කටුනායක ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට එප්පාවල පොලීසිය සමත්ව ඇත.

අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අදාළ ඝාතනය සිදු වූ විහාරස්ථානය වෙත අද (28) පෙරවරුවේ සැකකරු රැගෙන ආ අතර ඔහු හිමිනම ඝාතනය සදහා යොදා ගත් පොල්ලක්ද පොලීසියට පෙන්වනු ලැබීය.

අනතුරුව ඔහු ත්‍රීරෝද රථයෙන් යමින් සිටියදී පලුගස්වැව ප්‍රදේශයේදී ස්වාමීන් වහන්සේගේ දුරකථනයක්, ඒ.ටී.එම් කාඩ්පත් කීපයක් ඇතුළු ලිපි ලේඛණ කීපයක් විසි කර දැමූ ස්ථානයක්ද පොලීසිය විසින් පරික්ෂා කර එම ස්ථානයේ තිබී ස්වාමීන් වහන්සේගේ ජංගම දුරකථනය බැංකු කාඩ්පත් හා ලිපි ලේඛණ කීපයක්ද පොලීසිය සොයාගෙන ඇත.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, එප්පාවල කිරලෝගම රුක්සෙවන අසපුවේ විහාරාධිපති ලෙස වැඩ විසු පූජ්‍ය විලච්චියේ ප්‍රේමරතන නම් හැට නව හැවිරිදි ස්වාමීන් වහන්සේ නමකි.

ස්වාමීන් වහන්සේගේ හිසෙහි හා මුහුණෙහි බරපතල කැපුම් තුවාල පැවති අතර, ලිංගේන්ද්‍රයද කපා දමා ඇතැයි පොලීසිය පවසයි.

ඝාතනයට ලක් වූ හිමිනම මෙම විහාරස්ථානයේ තනිව වැඩවාසය කරන බවත්, ගම්මානයේ ජනතාව සමග ඇසුරක් නොමැති බවත් ප්‍රදේශවාසීන් පවසති.

මීට වසර 10 කට පමණ ඉහතදී මෙම ප්‍රදේශයට පැමිණ කුඩාවට විහාරස්ථානයක් ආරම්භ කර එය ධානපතීන්ගේ ආධාර උපකාර මැද සංවර්ධනය කර ගෙන සිට ඇත.

පසුගිය දා (25) පස්වරුවේ වෙනත් විහාරස්ථානයක ස්වාමීන් වහන්සේනමක් මෙම අසපුවට පැමිණි අවස්ථාවේදී විහාරාධිපති හිමියන් සංඝාවාසය ඉදිරිපිට පුටුවක් මත මිය ගොස් සිටිනු දැක ඒ පිළිබදව ගම්වාසීන් හරහා ග්‍රාමසේවක මහතා දැනුම්වත් කර එප්පාවල පොලීසියට පැමිණිලි කර ඇත.

ඒ අනුව, උන්වහන්සේගේ දේහය එදින (25) පස්වරුවේ සොයා ගත් බව එප්පාවල පොලීසිය පවසයි.