බාල එන්නත් නඩුවේ පළමු සැකකරු වහාම අංගොඩ යවන්න – අධිකරණයෙන් නියෝග

බාල එන්නත් නඩුවේ පළමු සැකකරු වහාම අංගොඩ යවන්න – අධිකරණයෙන් නියෝග

ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර එන්නත් ආනයනය කර රජයේ රෝහල් වලට බෙදා හැරීම සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවරා ඇති නඩුවේ දැනට රිමාන්ඩ් භාරයේ පසුවන පළමු සැකකරු දිවිනසා ගැනීමේ තත්ත්වයකට හා දරුණු මානසික රෝගි තත්ත්වයකට මුහුණු දී ඇති බැවින් ඔහු වහාම අගොඩ මානසික විද්‍යායතනයේ රඳවා තැබීමට මලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම නියෝග කළා.

එහිදී මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් නියෝග කළේ දස දෙනෙකුගෙන් යුත් වෛද්‍ය මණ්ඩලයේ වාර්තාව පැමිණෙන තුරු මානසික රෝහලේ රඳවා තැබිමටයි.

ඒ අනුව පලමු වන සැකකරු සුදත් ජානක, වහාම මානසික රෝහල වෙත ගෙන යන ලෙස බන්ධනාගාර නිලධාරීන්ට ඊයේ (29) නියෝග කළා.

“මේ පුද්ලගයා හෙට දිවි නසා ගත්තොත් මට වගකියන්න වෙයි. ඒ නිසා ඇප දිම සම්බන්ධයෙන් නිත්‍යානුකූල වාර්තා කැඳවනු තුරු ලංකාවේ මානසික රෝග සඳහා ප්‍රතිකාර කරන අංගොඩ රෝහල වෙත අදම රැගෙන යන්න” යැයි මහේස්ත්‍රාත්වරිය විවෘත අධිකරණයේදී ප්‍රකාශ කරනු ලැබුවා.

නඩුව ආරම්භයේ දී පලමු සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ වරයා ඔහුගේ මානසික රෝගි තත්ත්වය සුවිශේෂී කරුණක් ලෙස සලකා ඇප ඉල්ලා සිටි අතර එම ඉල්ලිම කල් තබන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම ඉල්ලා සිටියා.

මානසික රෝගයක් පිළිබඳව ලක්ෂණ කිසියම් රැඳවියකුගෙන් පෙන්නුම් කරන්නේ නම් ඔහු මානසික රෝහලකට යවන්න කටයුතු කරනවා දැයි මහේස්ත්‍රාත්වරිය බන්ධනාගාර නිලධාරීන් කැඳවා විමසා සිටියා.

එහිදී බන්ධනාගාර නිලධාරීවරයා එසේ කරන බව සඳහන් කළා.

නමුත් සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් ක⁣ළේ ඔහු දිවිනසා ගැනීමට වැඩි ඉඩකඩක් පවතිව බවයි.

එහිදී කරුණු දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය පෙන්වා දුන්නේ එම සැකකරු මානසික රෝගි තත්ත්වයට මුහුණ පා ඇත්නම්, වයස අවුරුදු 87ක්වන ඔහුගේ මවට භාර දීම අනාරක්ෂිත බවයි.

එමෙන්ම අපරාධ නඩු විධාන සංග්‍රහය අනුව එවැනි පුද්ගලයෙකට ඇප ලබා දිමෙන් සමාජ ගත කළ නොහැකි බවත් ඔහු සුදුසු මානසික රෝහලකට යොමු කර සුදුසු ප්‍රතිකාර ලබා දෙන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ඉල්ලා සිටියා.

එහිදී මහේස්ත්‍රාත්වරිය පෙන්වා දුන්නේ ප්‍රමාණවත් සාක්ෂි පවතින රජයේ චෙක්පත භාර ගත් පළමු සැකකරු හට ඇප ලබා දීම සිදු කළ නොහැකි බවයි.

ඒ අනුව පලමු සැකකරු අගොඩ මානසික රෝහල වෙත මාරු කිරිමට නියෝග කෙරුණා.

එමෙන්ම හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නිතිඥ අනුජ ප්‍රේමරත්න සඳහන් කළේ, ඔහු පුර්ණ අබාධිත තත්ත්වයට පත් විය හැකි බවත් එම තත්ත්වය රජයේ රෝහලක සුව කිරිමට නොහැකි බවයි.

එසේ පුර්ණ ආබාධිත තත්ත්වයට පත් වුවහොත් ඇප ලබා දුන්නත් වැඩක් නොවන බවද ජනාධිපති නිතිඥවරයා පෙන්වා දුන්නා.

එබැවින් ඇප ලබාදෙන ලෙසයි ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

ඊට විරුද්ධත්වය පෑ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය පෙන්වා දුන්නේ, සෙසු සැකකරුවන් මෙන් පුර්ණ වෛද්‍ය මණ්ඩලයක් වෙත යොමු කර වාර්තා කැඳවා ඇප පිළිබඳව සලකා බලන බවයි.

එහිදී මහේස්ත්‍රාත්වරිය හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල පුර්ණ වෛද්‍ය මණ්ඩලයක් වෙත යොමු කර වාර්තා කැඳවීමට නියෝග කළා.

ඉදිරිපත් කළ සියලු කරුණු සැලකිල්ලට ගත් අධිකරණය හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඇතුලු අනෙක් සැකකරුවන් හතර දෙනා ලබන මස 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා.