කවින්ද ජයවර්ධන ගැන බොරු පළකලැයි සැකකරුවන් 4ක් රිමාන්ඩ්

කවින්ද ජයවර්ධන ගැන බොරු පළකලැයි සැකකරුවන් 4ක් රිමාන්ඩ්

අන්තර්ජාලය උපයෝගී කර ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රි කාවින්ද ජයවර්ධන සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු පළ කරන ලදැයි අත්අඩංගුවට ගත් සැකකරුවන් 04 දෙනකු ලබන 29 වන දින තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස අධිකරණය ඊයේ (20 වැනිදා) නියෝග කළේය.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි සේනාධීරගේ දොන් කාවින්ද හේෂාන් ජයවර්ධන විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය වෙත කරන ලද පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගත් සැකකරුවන් සිවුදෙනකු එලෙස රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

අන්තර්ජාලය උපයෝගී කරගනිමින් පැමිණිලිකරු පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ අශ්ශීල හා අසත්‍ය තොරතුරු ඇතුළත් පළ කිරීම, ප්‍රචාරය කිරීම හා ආධාර අනුබලදීම සම්බන්ධයෙන් අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය වෙත දන්වා සිටියේය.

සැකකරුවන් ෆේස් බුක් පිටු කිහිපයක් උපයෝගී කර ගනිමින් අදාළ වරදවල් කර ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දන්වා සිටියේය.