කටුනායක ගුවන් තොටුපොළ නව වෘත්තීය සමිති නායකයින් 28 දෙනෙකුගේ සේවය අත්හිටුවයි

කටුනායක ගුවන් තොටුපොළ නව වෘත්තීය සමිති නායකයින් 28 දෙනෙකුගේ සේවය අත්හිටුවයි

කටුනායක ගුවන් තොටුපළ තුළ අලුතින් පිහිටවූ ගුවන් තොටුපළ ඒකාබද්ධ වෘත්තීය සමිතියේ සභාපති ඇතුළු උසස් නිලතල දැරූ නායකයින් 28 දෙනෙකුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අද (03) දින දහවල් 12.00 පැයේ සිට අත්හිටුවා අනිවාර්ය නිවාඩු ගැන්වීමකට ලක් කිරීමට, සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති ඉංජිනේරු අතුල ගල්කැටිය මහතා ලිපි මගින් පියවර ගෙන තිබේ.

මෙම වෘත්තීය සමිතියට, කටුනායක ගුවන් තොටුපළ ඇතුළු මෙරට ක්‍රියාත්මක අනෙකුත් සියලුම ජාත්‍යන්තර ගුවන් තොටුපළ, අභ්‍යන්තර ගුවන් තොටුපළ සහ පිදුරුතලාගල රේඩාර් මධ්‍යස්ථානයේ සේවකයින් සම්බන්ධ වී සිටින බව ගුවන් තොටුපළ ඒකාබද්ධ වෘත්තීය සමිතියේ සභාපති ධම්මික ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් සම්බන්ධතා පවත්වන සියලුම ගුවන් සේවා අවහිර කිරීමේ සහ කඩාකප්පල් කිරීමේ අරමුණෙන් මෙම වෘත්තීය සමිතියේ ලේකම්වරයා විසින් ලිපි යවා ඇති බවයි, අදාළ අනිවාර්ය නිවාඩු ගැන්වීමේ ලිපිවලින් සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපතිවරයා සඳහන් කර ඇත්තේ.

එවැනි පියවරක් ගැනීමට ඔවුන්ට නීත්‍යානුකූල සහ සදාචාරාත්මක අයිතියක් නොමැති බව සඳහන් කරන සභාපතිවරයා, එම විෂමාචාර කටයුත්ත පිළිබඳ බලපෑම්වලින් තොර විධිමත් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා එලෙස ඔවුන් වහාම බලපැවැත්වෙන පරිදි අනිවාර්ය නිවාඩු ගන්වා ඇති බව වැඩිදුරටත් ලිපි මගින් සඳහන් කර තිබේ.

එමෙන්ම, මෙම වෘත්තීය සමිති නායකයින් සතු ගුවන් තොටුපළ ඇතුළුවීමේ අවසරපත් සහ ඔවුන් සේවය සදහා භාවිත කළ සියලු උපකරණ ඔවුන්ගේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත භාර දෙන ලෙසයි දැනුම් දී ඇත්තේ.

එමෙන්ම මෙම පරීක්ෂණ අවසන් වනතෙක් සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ කිසිදු පරිශ්‍රයක් වෙත ඇතුළු වීම ද මොවුන්ට තහනම් කර තිබේ.