හිටපු කොටි සාමාජිකයන් එකතු කරන්නැයි කරුණා අම්මාන්ගෙන් නියෝගයක්

හිටපු කොටි සාමාජිකයන් එකතු කරන්නැයි කරුණා අම්මාන්ගෙන් නියෝගයක්

හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් සියලුම දෙනා එක කුඩයක් යටට ඒකරාශි කරන්නැයි එක්සත් දෙමළ නිදහස් පෙරමුණේ නායක කරුණා අම්මාන් හෙවත් විනයාගමුර්ති මුරලිදරන් තමන්ට නියෝග කර ඇතැයි එම පක්ෂයේ නියෝජ්‍ය නායක ජෙයා සරවනාන් සඳහන් කළේය.

දෙමළ රූපවාහිනි මාධ්‍ය ආයතනයකට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් සරවනන් මේ බව පැවසීය.

විනයාගමූර්ති මුරලිදරන් තමන්ව උතුරු පළාත භාරව මේ වන විට පත්කර ඇති බව කී සරවනන් මහතා ඉදිරියේදී පක්ෂයක් වශයෙන් විශාල වැඩ කොටසක් ඉටුකිරීමට සැලසුම් කර ඇති බව ද පැවසුවේය.

තම භූමිය වෙනුවෙන් සටන් කළ හිටපු සියලු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ව එක කූඩයක් යටට රැස් කරන්නැයි මුරලිදරන් නියෝග කර ඇති බවත් හිටපු නායකයෙක් නියෝග කළහොත් අනිවාර්යයෙන්ම ඔවුන් පැමිණෙනු ඇති බවත් සරවනන් විශ්වාසය පළ කළේය.

හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් රජයේ පුනරුත්ථාපන වැඩපිළිවෙළින් පසුව සමාජගත කෙරුණත් මේ වන විට ඔවුන්ගේ බොහොමයක් දෙනා එදිනෙදා ආහාරවේල පවා සපයා ගත නොහැකිව දුක් විඳින බව පෙන්වා දුන් සරවනන් මේ සියලු සාමාජිකයන්ගේ ජීවනෝපාය මාර්ග නගා සිටුවීමට විනයාගමූර්ති මුරලිදරන් සැලසුමක් සකස් කර ඇති බව ද කීය.

මෙම සැලසුම ක්‍රියාත්මක කිරීම මුරලිදරන්ගේ සිහිනය වී ඇති බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

Share This