කරන්දෙනිය සුද්දාගේ ගෝලයෙක් හා තවත් අයෙක් අත්අඩංගුවට

කරන්දෙනිය සුද්දාගේ ගෝලයෙක් හා තවත් අයෙක් අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන කරන්දෙනිය සුද්දාගේ ගෝලයෙකු හා තවත් පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී, ඔවුන් සතුව තිබී හෙරොයින් හා ගිනි අවියක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ගේ භාරයට ගෙන ඇත.

විශේෂ කාර්ය බළකාය විසින් ඇල්පිටිය පොලිස් වසමේ වතුරවිල හන්දියේ දී ඊයේ සිදුකළ වැටලීමක් අතරතුරදී ඔවුන්ව අත්අඩංගුවට ගෙන තිබුණි.

එහිදී, හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 01, මිලි ග්‍රෑම් 200ක් සිය සන්තකයේ තබාගෙන සිටීම හා ගිනිඅවි ළඟ තබා ගැනීමට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් පොල්පැලකැටිය, තල්ගස්වැව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22 ක පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

එම පුද්ගලයාගෙන් ලද තොරතුරකට අනුව, ගිනිමඩුකන්ද, කහදූව, ඇල්පිටිය යන ලිපිනයේ පිහිටි නිවසකදී වයස අවුරදු 29 ක තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇත.

පසුව කරන ලද විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ, ඔහු සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන කරන්දෙනිය සුද්දා සමග සමීප සම්බන්ධතා පවත්වන ලද පුද්ගලයෙකු බවටයි.

ඔහු ඉකුත් මාර්තු මාසයේ 11 වන දින පිටිගල පොලිස් වසමේ දී සිදුවූ ද්විත්ව ඝාතනයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතව සිටි අයෙකි.

ඒ අනුව, සැකකරුවන් දෙදෙනාම ඉදිරි විමර්ශන කටයුතු සඳහා ඇල්පිටිය පොලිසිය වෙත බාරදී තිබේ.