මහනුවර වැවේ ජෝයි බෝට්ටු සේවයට සීල් තියයි

මහනුවර වැවේ ජෝයි බෝට්ටු සේවයට සීල් තියයි

මහනුවර නගරයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකාර්ෂණය දිනාගත් ඓතිහාසික මහනුවර වැවේ අඩසියවසක කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය ජෝයි බෝට්ටු සේවා ස්ථානයට සීල් තැබීමට මහනුවර මහ නගර සභාව පියවර ගෙන තිබේ.

බෝට්ටු සේවය පවත්වාගෙන යෑමේ තාවකාලික බදු අයිතිය පසුගිය දෙසැම්බර් මස 31 දිනෙන් අවසන් වීම මත ජනවාරි මස 01 වනදා දින සිට සන්තකය මහ නගර සභාව වෙත පවරා ගන්නා බව දක්වමින් බෝට්ටු සේවා ස්ථානයේ දැන්වීමක් ද ප්‍රදර්ශනය කර ඇත.

බෝට්ටු සේවාව පවත්වාගෙන යාමට ටෙන්ඩරය ලබාගත් එරල් කෙම්ස් යන අයගේ ටෙන්ඩර් කාල සීමාව පසුගිය දෙසැම්බර් මස 31 දිනෙන් අවසන් වීමෙන් පසු නව ටෙන්ඩර්කරුවෙකු වැඩි මුදලකට එය ලබාගත් බව නගර සභාව පවසයි.

බෝට්ටු සේවය වසර 55ක කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය එරල් කෙම්ස් මහතා ටෙන්ඩරය පිරිනැමීමේ දී තමන්ට අසාධාරණයක් සිදුවූ බවට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් පසු ඒ සම්බන්ධව පරීක්ෂණයක් පවත්වන ලෙස ආණ්ඩුකාරවරයා නාගරික කොමසාරිස්වරයාට දැනුම් දී තිබේ.

අදාළ පරීක්ෂණය අවසන් වනතෙක් බෝට්ටු සේවා ස්ථානයට සීල් තැබීමට පියවර ගත් බව මහනුවර නාගරික කොමසාරිස් ඉෂාන් විජේතිලක මහතා කීය.

Share This