ජපානයෙන් ශ්‍රී ලංකාවට අඛණ්ඩ මූල්‍ය සහ තාක්‍ෂණික සහාය

ජපානයෙන් ශ්‍රී ලංකාවට අඛණ්ඩ මූල්‍ය සහ තාක්‍ෂණික සහාය

ශ්‍රී ලංකාවට ලබා දෙන මූල්‍ය සහ තාක්ෂණික සහාය අඛණ්ඩව ලබා දෙන බව ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ (JICA) උප සභාපති හාරා ෂෝහෙයි (HARA Shohei) මහතා පවසයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ (JICA) ජ්‍යෙෂ්ඨ උප සභාපති හාරා ෂෝහෙයි මහතා අතර ජනාධිපති කාර්යාලයේ අද (07) පැවති හමුවේදී මේ බව සඳහන් කෙරිණි.

ජපාන ආධාර යටතේ ක්‍රියාත්මක කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පර්යන්තයේ සංවර්ධන කටයුතු පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

එමෙන්ම ජයිකා ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක සියලු ව්‍යාපෘති කඩිනමින් අවසන් කිරීමට සැලසුම් කර ඇති බවද සඳහන් විය.

ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේදී ජපානය ශ්‍රී ලංකාවට ලබා දුන් සහාය මෙන්ම ඉදිරියේදී ශ්‍රී ලංකාවට අවශ්‍ය මූල්‍ය ආධාර ලබාදීමට ජයිකා සංවිධානය බලාපොරොත්තු වන බව හාරා ෂෝහෙයි මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙරට ක්‍රියාත්මක ප්‍රමුඛ ව්‍යාපෘතියක් වන “Clean Sri Lanka” වැඩසටහන පිළිබඳව සිය ප්‍රසාදය පළ කළ උප සභාපතිවරයා එම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය මූල්‍ය හා තාක්ෂණික සහාය ලබාදීමට සූදානම් බව පැවසීය.

මෙරට ප්‍රවාහන පද්ධතිය ප්‍රතිසංස්කරණය සහ නගර පවිත්‍රකරණ කටයුතු සඳහා ජයිකා සංවිධානය මගින් ලබාගත හැකි මූල්‍ය සහ භෞතික සහාය පිළිබඳවද මෙම හමුවේ දී සාකච්ඡා කෙරිණි.