ප්‍රශ්නගත ඖෂධ නිසා පෙනීම අහිමි වූ රෝගීන්ට වන්දි ලැබෙන්නේ මෙහෙමයි
නුවරඑළිය මහ රෝහලේ දී ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්මවලින් පසු දෘෂ්ටිය අහිමි වූ රෝගීන් 17 දෙනා සඳහා ගෙවන වන්දි මුදල් ප්‍රමාණය පිළිබඳ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ.
මෙම අක්ෂි ශල්‍යකර්මවලට භාජනය වූ රෝගීන් කිහිපදෙනෙකුගේ දෘෂ්ටිය අහිමි වීම පිළිබඳව වින්දිතයන්ට ගෙවිය යුතු වන්දි ප්‍රමාණය තීරණය කිරීම පිණිස තාක්ෂණික කමිටුවක් පත් කිරීමට 2024‑02‑12 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබුණි.
ඒ අනුව, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර ඇති අතර, එකී කමිටුව විසින් අදාළ කරුණු අධ්‍යයනය කර ගෙවිය යුතු වන්දි මුදල් පිළිබඳව සිය නිර්දේශ ඉදිරිපත් කර තිබේ.
එම නිර්දේශ මත පදනම්ව අදාළ රෝගීන් 17 දෙනා සඳහා වන්දි මුදල් ගෙවීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවයි, අමාත්‍ය මණ්ඩලය විසින් එලෙස අනුමත කර ඇත්තේ.
ඒ අනුව, පහත සඳහන් පරිදි අදාල වන්දි මුදල් ලබාදීමට නියමිතයි.
රෝගීන් 12 දෙනෙකු සඳහා රුපියල් 1,000,000/- බැගින් වන්දි ගෙවීම.
රෝගීන් 02 දෙනෙකු සඳහා රුපියල් 750,000/- බැගින් වන්දි ගෙවීම.
එක් රෝගියෙකු සඳහා රුපියල් 700,000/-ක වන්දියක් ගෙවීම.
රෝගීන් 02 දෙනෙකු සඳහා රුපියල් 250,000/- බැගින් වන්දි ගෙවීම.