යාල කැලේ කෘමීන්ගේ ජාන හොරකමේ යෙදී සිටි ඉතාලි පිය – පුතු රිමාන්ඩ්

යාල කැලේ කෘමීන්ගේ ජාන හොරකමේ යෙදී සිටි ඉතාලි පිය – පුතු රිමාන්ඩ්

ජාන ලබාගැනීම සදහා යාල රක්ෂිතයේ ජීවත්වන සමනලුන්, පළඟැටියන්, බත්කුරන් ඇතුළු කෘමි විශේෂ දඩයම් කිරීමේ යෙදී සිටි ඉතාලි ජාතික පිය – පුතු දෙපළක් යාල, කටගමුව වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව යාල ජාතික උද්‍යානයේ උද්‍යාන භාරකරු මනෝජ් විද්‍යාරත්න පැවසීය.

එලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් ඊයේ (09) පස්වරුවේ තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන 15 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත් තරිඳු සමීර ද සිල්වා නියෝග කර තිබේ.

සැකකාර පිය – පුතු දෙපළ විසින් සමනලුන්, බත්කූරන් ඇතුළු කුඩා කෘමීන් අල්ලා මරණයට පත්කර රසායනික ද්‍රව්‍ය යොදා අසුරා විදේශ රටකට ගෙන යාම සඳහා සූදානම් කර තිබූ බහාලුම් සියයකට ආසන්න ගණනක් වනජීවී නිලධාරීන් භාරයට ගෙන තිබේ.

යාල සෆාරි ජීප් රියැදුරකුගෙන් ලද තොරතුරකට අනුව කතරගම කටගමුව වනජීවී අඩවි ආරක්ෂක සුජීව නිශාන්ත ඇතුළු කටගමුව වනජීවී නිලධාරීන් සිදුකළ සෝදිසි මෙහෙයුමකදී කොච්චිපතාන රජයේ රක්ෂිතයේ මෝටර් රථයක් නතර කර දැල් යොදා ගනිමින් සමනලුන් අල්ලමින් සිටි මේ විදේශිකයන් දෙපළ හමුව ඇත.

පසුව ඔහුගේ මෝටර් රථය පරීක්ෂා කිරීමේදී එම අවස්ථාවේ අල්ලා ගත් සමනලුන් බෝතල්වල බහා තිබියදී භාරයට ගෙන ඇති බවත් සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීමේදී දින කිහිපයක් තුළ ජීවග්‍රහයෙන් අල්ලා මරණයට පත් කළ ජීවීන් වර්ග 400කට ආසන්න ගණනක් රසායනික ද්‍රව්‍ය යොදා අසුරා තිබියදී අත්අඩංගුවට ගත් බවත් වනජීවී නිලධාරීහු පැවසූහ.

වනජීවී වෘක්ෂලතා ආඥා පනතට අනුව කොඳු ඇට පෙළ රහිත ආරක්ෂිත සතුන් ගණයට වැටෙන මෙම සතුන් අතර ආවේණික සහ ආවේණික නොවන සතුන් ද සිටින බව උද්‍යාන භාරකරු සඳහන් කළේ ය.

ඒ අනුව, එක් සතෙකු වුව ද අල්ලා ගැනීම, මැරීම, සන්තකයේ තබා ගැනීම, ප්‍රවාහනය කිරීම ඇතුළු චෝදනා ගණනාවක් යටතේ මේ දෙදෙනාට එරෙහි අධිකරණයට කරුණු වාර්තා කරන බවත් උද්‍යාන භාරකරු කීය.

ඊට අමතරව මෙම සතුන් දඩයම් කිරීම සඳහා දේශීය වශයෙන් යම් පුද්ගලයෙකුගේ සහය ලැබී ඇද්ද යන්න පිළිබඳවත් ජාන සොරකම සඳහා ගෙනෙන ලද කල්තබා ගැනීමේ රසායනික ද්‍රව්‍ය කුමන ආකාරයට රට තුළට ගෙනාවේ ද යන්න පිළිබඳවද පරීක්ෂණ සිදු කරන බව කටගමුව වනසත්ත්ව අඩවිය ආරක්ෂක කේ. සුජීව මහතා කීය.

මේ මස හතර වන දින මෙම විදේශිකයන් ඉතාලියේ සිට මෙරටට පැමිණ ඇති අතර ඔවුන් දෙදෙනාගේ ගමන් බලපත්‍රද වනජීවී භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට පත් දෙදෙනා අතරින් එක් අයෙක් වයස අවුරුදු 58 ක් වන ලුයිගි ෆෙරාරි වෛද්‍යවරයෙකු වන අතර ඔහුගේ පුතෙකු වන වයස අවුරුදු 28ක් වන නතියා ෆෙරාරි ඉන්ජිනේරුවරයෙකු වීමට අධ්‍යාපනය ලබන පුද්ගලයෙකු බවට තොරතුරු අනාවරණය වී ඇත.

මොවුන්ගේ ගමන් මලුවල තිබී හමුවූ රසායනික ද්‍රව්‍ය සහ සතුන් දඩයම් කිරීමට යොදා ගන්නා විද්‍යුත් උපකරණ රැසක් ද වනජීවී භාරයට ගත හැකි වූ බවත් ඒ අනුව ජාන සොරකම් කිරීම සඳහා උපරිම දැනුමක් ඇති දෙපළක් බවට මොවුන් දෙදෙනා හඳුනාගෙන ඇතැයි ද වනජීවී නිලධාරීහු කීහ.

පරීක්ෂණවලදී හෙළි වූ කරුණු අනුව ඔවුන් මිරිස්ස, තංගල්ල ආදී ප්‍රදේශවලත් මේ අයුරින් ම සතුන් දඩයම් කර ඇති බවට ද තොරතුරු හෙළිව ඇති බව නිලධාරීහු පැවසූහ.

කෙසේ වෙතත් මෙලෙස අල්ලා ගන්නා සතුන් වරායෙන් හෝ ගුවන්තොටුපොළින් විදේශගත කරන්නේ කෙසේ ද යන්න පිළිබඳව සැක සහිත තත්ත්වයක් මතුව ඇති බවත් ඒ සම්බන්ධයෙන් අදාළ බලධාරීන් ඉදිරි විමර්ශන කළ යුතු බවත් නිලධාරීන් සඳහන් කළේය.

Share This