ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ තොරතුරු විමසන්න වට්ස්ඇප් අංකයක්

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ තොරතුරු විමසන්න වට්ස්ඇප් අංකයක්

ඊශ්‍රායලය සහ පලස්තීනය අතර යුද ගැටුම් හටගෙන තිබීම හේතුවෙන් ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් 0094716640560 වට්ස්ඇප් අංකය ඔස්සේ තොරතුරු විමසිය හැකි බව විදේශ කටයුතු අමාත්‍යාංශය අවධාරණය කරයි.

ශ්‍රී ලාංකිකයන් 8,000ක් පමණ ඊශ්‍රායලයේ සේවය කරන බවට වාර්තා වන අතර, පවතින ගැටුම් තත්ත්වය හේතුවෙන් ඊශ්‍රායල් රජය නිකුත් කර තිබෙන උපදෙස් මාලාව අනුගමනය කරන ලෙස එරට ශ්‍රී ලාංකිකයන්ගෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉල්ලීමක් කර තිබේ.

ගාසා තීරයේ යුද ගැටුම් හටගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දැඩි කනස්සල්ල පළකර තිබෙන අතර,‍ ටෙල්අවිව් සහ රමල්ලාහි ශ්‍රී ලංකා දූත මණ්ඩල මෙම කලාපයේ තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවද විපතට පත් ප්‍රදේශවල වෙසෙන ශ්‍රී ලාංකිකයන් සමඟ සම්බන්ධතා පවත්වන බව ද එම අමාත්‍යාංශය පෙන්වා දෙයි.

මෙම ගැටුම් හේතුවෙන් එරට වෙසෙන ශ්‍රී ලාංකිකයකු ද සුළු තුවාල ලබා ඇති බවට වාර්තා වන අතර, ගාසා තීරයේ සිදුවන ප්‍රහාර සහ ප්‍රචණ්ඩත්වය උත්සන්න වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දැඩි අවධානයෙන් පසුවන බවද විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ප්‍රචණ්ඩත්වය වහා නතර කරන ලෙස ඉල්ලීමක් කරන ශ්‍රී ලංකාව තවදුරටත් සිවිල් වැසියන්ට සිදුවන අනතුරු වළක්වා ගැනීම සඳහා උපරිම සංයමයකින් කටයුතු කරන ලෙස සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී.