ඉරාන ජනපති ගමන්ගත් හෙලිකොප්ටරය කඩා වැටීමට හේතුව හෙළිවෙයි

ඉරාන ජනපති ගමන්ගත් හෙලිකොප්ටරය කඩා වැටීමට හේතුව හෙළිවෙයි

අභාවප්‍රාප්ත ඉරාන ජනාධිපති ඉබ්‍රහිම් රයිසි ගමන්ගත් හෙලිකොප්ටර් යානය කඩන් වැටීමට හේතුව මේ වන විට අනාවරණය වී තිබේ.

එරට රජයට සම්බන්ධ පුවත් ඒජන්සියක් වාර්තා කර ඇත්තේ, අයහපත් කාලගුණ තත්ත්වය සහ මගීන්ගේ බර පාලනය කිරීමට යානයට නොහැකි වීම මත එම අනතුර සිදුව ඇති බවයි.

ඒ අනුව, හෙලිකොප්ටරය අනතුරට පත්වන විට නිර්දේශිත ධාරිතාව ඉක්මවා මගීන් දෙදෙනෙකු රැගෙන යමින් සිට ඇති බවයි, එම පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.

කෙසේවෙතත්, මෙම වාර්තාවෙන් පසුව, ඉරාන සන්නද්ධ හමුදාවේ සාමාන්‍ය කාර්ය මණ්ඩලය මෙම කරුණු දැඩි ලෙස ප්‍රතික්ෂේප කර තිබෙන අතර එම ප්‍රකාශ “මූලික වශයෙන් අසත්‍ය” බවයි, එම මූලස්ථානය සඳහන් කර ඇත්තේ.

පසුගිය මැයි මාසයේ සිදුවූ එම අනතුරින් ඉරාන ජනපතිවරයා එම ස්ථානයේදීම මියගොස් තිබුණි.

මේ අතර, අනතුර සම්බන්ධයෙන් සිදුකළ මූලික පරීක්ෂණ වලදී යානයට ප්‍රහාරයක් එල්ල වූ බවක් හෝ වෙනත් බාහිර අකටයුත්තක් හෝ සිදුවූ බවක් හෙළි නොවූ බව එරට බලධාරීන් ප්‍රකාශ කර තිබුණි.