ඉම්රාන්ට සහ බිරිඳට වසර 14ක සිරදඬුවම්

ඉම්රාන්ට සහ බිරිඳට වසර 14ක සිරදඬුවම්

පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සහ බිරිඳ බුෂ්රා බිබීට වසර 14 ක සිරදඬුවමක් ලබාදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ, ඉම්රාන් අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කරද්දී, විදෙස් රාජ්‍ය නායකයන්ගෙන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයන්ගෙන් ලැබුණු ත්‍යාග, අග්‍රාමාත්‍ය ධුරය අහිමි වූ අවස්ථාවේදී ආපසු බාර නොදීම සම්බන්ධයෙනි.

ඉම්රාන් සහ බිරිඳ ඔවුන්ට ලැබුණු ත්‍යාග භාණ්ඩ විකුණා ඇතැයි ද චෝදනා එල්ල වී තිබේ. බුෂ්රා බිබී යනු අග්‍රාමාත්‍ය ඉම්රාන්ගේ තෙවැනි බිරිඳය.

මේ වනවිටත් බන්ධනාගාර ගත කර සිටින ඉම්රාන්ට ඊයේ (30) තවත් වසර 10 ක සිර දඬුවමක් හිමිවිය. ඒ, රාජ්‍ය රහස් හෙළි කිරීමේ චෝදනාවකට වරදකරු වීමෙන් පසුවය.

ඉම්රාන් ඛාන්ට අග්‍රාමාත්‍ය ධුරය අහිමි වූයේ 2022 වසරේ විපක්ෂය එක් වී, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශ්වාසභංගයකිනි. පසුගිය 2023 වසරේ දී දූෂණ චෝදනා මත ඉම්රාන්ට වසර 3 ක සිර දඬුවමක් නියම විය.

තවත් දූෂණ චෝදනා රැසක් ඉම්රාන්ට එල්ල වී ඇත. ඒ සියලු චෝදනා ඉම්රාන් ප්‍රතික්ෂේප කරන අතර, ඔහු පවසා ඇත්තේ ඔහු දේශපාලන පළිගැනීමකට ලක් වී සිටින බවය.

Share This