“IMF ප්‍රතිසංස්කරණ ඉවර වෙනකන් මැතිවරණ නෑ”

“IMF ප්‍රතිසංස්කරණ ඉවර වෙනකන් මැතිවරණ නෑ”

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කර ගෙන තිබෙන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩ කටයුතු අවසන් වන තෙක් කිසිදු මැතිවරණයක් පැවැත්වීමට අවස්ථාවක් නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇමති මණ්ඩලය හා මැතිවරණ කොමිසම දැනුම්වත් කර තිබේ.

රට ආර්ථික වශයෙන් ඉදිරියට යාමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එක්ව කරන ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඉතා වැදගත් බැවින් ප්‍රමුඛතාවය දිය යුත්තේ එම වැඩසටහනට බව ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

අමාත්‍ය මණ්ඩලය සහ මැතිවරණ කොමිසමේ නිලධාරීන් වෙන වෙනම හමුවූ අවස්ථා වලදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ජූලි මාසයේ අග වන තෙක් ක්‍රියාත්මක බැවින් ඊට පෙර කිසිදු මැතිවරණයක් නොපවැත්වෙනු ඇතැයි ද ජනාධිපතිවරයා කියා ඇත.

ජනාධිපතිවරණය පැවැත්විය යුතු කාලය ව්‍යවස්ථානුකූලව එළඹෙන්නේ මූල්‍ය අරමුදලේ ක්‍රියාවලියට පසුව වන හෙයින් ජනපතිවරණය පැවැත්වීම අයි.එම්.එෆ් වැඩසටහනට බාධාවක් නොවන බව සඳහන් කර ඇති ජනාධිපතිවරයා රජය ඒ අනුව මැතිවරණ සිතියම සැලසුම් කර තිබෙන බව පැවසීය.

ඒ අනුව, මුලින්ම ජනාධිපතිවරණයට සුදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලය මෙන්ම මැතිවරණ කොමිසමේ නිලධාරීන් දැනුම්වත් කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක් නොපැවැත්වෙනු ඇති බවට මෙයින් ඉඟියක් දී ඇති බව පැහැදිලියැයි රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

 

Share This