බීමතින් පැමිණි පොලිස් පියා සා.පෙළ ලියන සිසුවාගේ ඔලුව පලලා

බීමතින් පැමිණි පොලිස් පියා සා.පෙළ ලියන සිසුවාගේ ඔලුව පලලා

මහනුවර මූලස්ථාන පොලිසියේ සේවයේ නියුතු සැරයන්වරයෙකුගේ පහරකෑමට ලක් වූ මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින ඔහුගේ පුත්‍රයා හිසට සිදු වූ බරපතළ තුවාල සහිතව පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව මහනුවර මූලස්ථාන පොලිසිය පවසයි.

මහනුවර ප්‍රධාන පෙළේ පාසලක අධ්‍යාපනය හදාරන එම සිසුවා අද (13) සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමටද නියමිතව තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් එම සිසුවාගේ මව මහනුවර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිලි කර තිබේ.

අස්ගිරියේ පිහිටි පොලිස් නිල නිවස්නයක පදිංචි මෙම පොලිස් නිලධාරියා ඊයේ (12) රාත්‍රී අධික බීමතින් පැමිණ ඔහුගේ බිරිඳට සහ දරු දෙදෙනාට පහර දී නිවසෙන් පලවා හැර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුවාට ද කිසියම් ආයුධයකින් පහර දී ඇති බවට මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන එම සිසුවාගේ හිසට මැහුම් පහක් දමා ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් ඉහළ පොලිස් නිලධාරියෙකුගෙන් කළ විමසීමකදී ඔහු පවසා සිටියේ, පහරදීමට සම්බන්ධ පොලිස් සැරයන්වරයා මේ වන විට සැඟව සිටින බවත් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විමර්ශන ආරම්භ කර ඇති බවත්ය.

මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ උපදෙස් පරිදි මහනුවර මූලස්ථාන පොලිසියේ වැඩ බලන මූලස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිලක් සමරනායක මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරේ.

Share This