හඟුරන්කෙත පොලීසිය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් – පොලීසියෙන් අහසට වෙඩි

හඟුරන්කෙත පොලීසිය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් – පොලීසියෙන් අහසට වෙඩි

හඟුරන්කෙත, දියතිලකපුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට පහරදී ඝාතනය කිරීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් පිරිසක්
අත්අඩංගුවට නොගැනීමට විරෝධය පාමින් 200කට අධික පිරිසක් ඊයේ (26) රාත්‍රියේ හඟුරන්කෙත පොලිස් ස්ථානය ඉදිරිපිටට පැමිණ කලහාකාරී ලෙස හැසිරී තිබේ.

එහිදී පොලිසියට බලහත්කාරයෙන් ඇතුළු වීමට උත්සහ කළ විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා පොලිසිය අහසට වෙඩි තබා ඇත.

පොලීසිය විසින් සිදුකරන විමර්ශන පිළිබඳ දැනුවත් කර තිබිය දීද එම පිරිස කලහකාරීව හැසිරී ඇති අතර, තවදුරටත් ප්‍රකෝප වූ පිරිස් පොලිස් ස්ථානයේ ප්‍රධාන ගේට්ටු කඩාගෙන පොලීසිය තුළට ඇතුළුවීමට උත්සාහ දරා ඇත.

එලෙස පැමිණි පිරිසෙන් වැඩිදෙනෙක් මත්පැන් පානය කර ඇති බවට නිරීක්ෂණය වූ බව පවසන පොලීසිය, එම ස්ථානයේ සිටි පිරිසක් විසින් පොලීසිය තුළට ගල් ප්‍රහාරයක් ද එල්ල කර ඇති බව සඳහන් කර ඇත.

කලහකාරීව හැසිරුණු පිරිස යම් විදියකින් පොලිසියට ඇතුළු වුවහොත් රාජකාරි නිරත නිලධාරීන්ගේ ජීවිතවලට තර්ජනයක් විය හැකි බවට නිරික්ෂණය වීම නිසා එසේ අහසට වෙඩි තබා ඇත. ඒ අනුව වෙඩි 38ක් පමණ තැබූ බවයි පොලිසිය සඳහන් කළේ.

එම වෙඩිතැබීමෙන් පසු කලහාකාරී පිරිස පොලිස් භූමියට ඇතුළු වීමෙන් වැළකී හඟුරන්කෙත – මහනුවර ප්‍රධාන මාර්ගයේ රැඳී සිටිමින් පැයකට ආසන්න කාලයක් විරෝධය දක්වා විසිර ගොස් ඇත.

කලහාකාරී ලෙස හැසිරුණු පිරිස හඳුනාගෙන ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම සඳහා හඟුරන්කෙත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share This