හංවැල්ල පාලම යටින් හමුවූ මිලියන 30ක වස්තුව

හංවැල්ල පාලම යටින් හමුවූ මිලියන 30ක වස්තුව

හංවැල්ල පාලම යට සිරවී තිබූ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් මිල අධික ජල මාපකයක් සොයාගැනීමට නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් සමත්ව තිබෙනවා.

එහි වටිනාකම රුපියල් මිලියන 30 ක් පමණ වන බව වාර්තා වේ .

එය වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් කැළණි ගඟේ ජලයේ මට්ටම, වේගය සහ දිශාව වැනි දත්ත රැස්කිරීම සඳහා හංවැල්ල පාලම යට ජලයේ මතුපිට තබනු ලබන ජල මාපකයෙහි GPS යන්ත්‍රයකි.

පැවති අයහපත් කාළගුණික තත්ත්වයත් සමග මෙම ජල මාපකය ජලයේ ගසාගෙන ගොස් ඇති අතර, එය සොයා ගැනීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් නාවික හමුදා මූලස්ථානයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ අනුව නාවික හමුදාව, බටහිර නාවික විධානයට අයත් විශේෂ කිමිදුම් කණ්ඩායමක් ඊයේ (04) වන දින අළුයම කිමිදුම් සහය ලබාදීම සඳහා හංවැල්ල ප්‍රදේශයට යොමු කර තිබුණා.

ඒ අනුව පවත්නා අධික වාර්ෂාපතනය හමුවේ කැලණි ග‍ඟේ ජලය පිටාර මට්ටමට පැමිණ ඇති අවදානම් තත්වය මත වුවද, නාවික හමුදා කිමිදුම් කණ්ඩායම මහත් පරිශ්‍රමයක් දරා දිය යට කැලිකසළ තුළ සිරවී තිබූ GPS යන්ත්‍රය සොයාගෙන තිබෙනවා.

 

Share This