රාජ්‍ය අංශයේ සියලුම විධායක නිලධාරීන් අද ලෙඩ වෙයි

රාජ්‍ය අංශයේ සියලුම විධායක නිලධාරීන් අද ලෙඩ වෙයි

රාජ්‍ය අංශයේ සියලුම විධායක නිලධාරීන්ට ආර්ථික යුක්තිය ඉටුකර ගැනීම සදහා වෘත්තීය සමිති 18ක නියෝජිතයින් 20000කට අධික සංඛ්‍යාවක් අද (29) දිනයේදී අසනීප නිවාඩු දමා සේවයට වාර්තා නොකිරිමේ වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයක නිරත වීමට තීරණය කළ බව රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව පවසයි.

රාජ්‍ය අංශයේ වෘත්තිකයන්ට බලපා ඇති වැටුප් විෂමතා ගැටලුවට විසඳුම ලබා නොදීමත් අධික බදු බර සහ ප්‍රමාණවත් වැටුප් තලයන් ලබා නොදීමත් හේතුවෙන් වෘත්තිකයන් රාජ්‍ය අංශයෙන් ඉවත් වීම හා අලුතින් රාජ්‍ය අංශයට දක්ෂ වෘත්තිකයින් ආකර්ෂණය නොවීම දිගින් දිගටම රජයට පෙන්වා දුන් බව කමිටුවේ ලේකම් වයි.එල්. සී.පී. මදුරප්පෙරුම සඳහන් කරයි.

එසේම, ජාතික වැටුප් ප්‍රතිපත්තිය ආරක්ෂා කර ගනිමින් සියලු රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටුප වැඩිවන ලෙසත් රාජ්‍ය සේවයේ වර්තමාන වැටුප් විෂමතා ගැටලු සඳහා කෙටුම්පත් කරන ලද නව වැටුප් ක්‍රමයක් පිලිබඳ යෝජනාද අයවැයට පෙර රජයට භාර දුන් බවත් ලේකම්වරයා කියා සිටියි.

එසේ තිබියදී රජය විසින් ජීවන අංක දීමනාව පමණක් වැඩිකර ඇති අතර එය රජයේ විධායක නිලධාරින් සඳහා කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවත් තමන් විසින් ඉල්ලා ඇති වැටුප් විෂමතාව ඉවත් කිරිමට වෙනුවට තව දුරටත් වැටුප් විෂමතාවන් ඇතිකරන තත්තවන් නිර්මාණය කරමින් ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

රාජ්‍ය සේවයේ සිදුකළ යුතු අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ පිළිබද අවස්ථා ගණනාවකදි ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කිරිමට විරෝධය දක්වමින් රජයේ විධායක සේවාවන්ට අයත් සියලුම නිලධාරීන් අද අසනීප නිවාඩු වාර්තා කර බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයට රැස්ව අඛන්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීම පිලිබඳව තීන්දු තීරණයන්ට එළඹෙන බව ලේකම්වරයා පැවසිය.

මේ අනුව අද දිනයේදී රාජ්‍ය සේවා ඉංජිනේරු සංගමය, රජයේ ආයුර්වේද නිලධාරින්ගේ සංගමය, සමන්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ සංගමය, රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුලු විධායක නිලධාරීන්ගේ වෘත්තීය සමිති 18ක නියෝජිතයින් වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීර්ණ වනු ඇත.