ඊශ්‍රායල හමුදාව ගාසා හි රෝහලකට ඇතුළු වෙයි

ඊශ්‍රායල හමුදාව ගාසා හි රෝහලකට ඇතුළු වෙයි

ඊශ්‍රායල හමුදා විසින් ගාසා හි විශාලතම රෝහල වන අල් ශිෆා රෝහලේ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

එරට වේලාවෙන් අලුයම 2ට පමණ ඊශ්‍රායල හමුදාවන් එම රෝහල් සංකීර්ණය වෙත ඇතුළු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

රෝහල් සංකීර්ණය අවට ප්‍රදේශයේ ප්‍රහාර සිදුකළ ඊශ්‍රායල හමුදා එම රෝහලට ඇතුළු වූ පළමු අවස්ථාව මෙය වේ.

ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් මුනීර් අල් බර්ෂ් විසින් අල් ජසීරා පුවත් සේවයට පවසනු ලැබුවේ ඊශ්‍රායල හමුදාව වෛද්‍ය සංකීර්ණයේ බටහිර පැත්ත වැටලූ බවයි.

තමන් සිටින පළාත ම අළු දුහුවිලිවලින් පිරී ඇති බවත්, රෝහලේ බටහිර කොටසෙහි විශාල පිපිරුමක් සිදු ව ඇති බවටත් තමන් විශ්වාස කරන බවයි බර්ෂ් සඳහන් කර ඇත්තේ.

එමෙන්ම ආක්‍රමණික හමුදා රෝහලේ බිම් මහලේ සෝදිසි කිරීම්හි යෙදී සිටින අතර, තව මොහොතකින් ඔවුන් ඉහළ මහලයට පැමිණෙනු ඇති බවයි.

ඊශ්‍රායල හමුදා පළමුකොට ම ශල්‍යකර්ම සහ හදිසි අනතුරු ඒකක වැටලූ බව ද ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශයේ රෝහල් අධ්‍යක්ෂ මොහොමඩ් සකෝට් පැවසුවා.

අල් ෂිෆා රෝහල ආශ්‍රිතව හමාස් සංවිධානයේ අණදෙන මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බවට අමෙරිකාව ඇතුළු පාර්ශව විසින් ප්‍රකාශ කර තිබුණි.

ඒ අනුව හමාස් සටන්කාමීන් ඉලක්ක කරගනිමින් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළ බව ඊශ්‍රායලය ප්‍රකාශ කර ඇත.

Share This