අභාවප්‍රාප්ත ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ අවසන් කටයුතු හෙට පන්නලදී

අභාවප්‍රාප්ත ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ අවසන් කටයුතු හෙට පන්නලදී

එක්සත් ජාතික පක්ෂයෙන් බිහි වූ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු වන හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ අවසන් කටයුතු පන්නල ක්‍රීඩාංගණයේදී හෙට (20) පස්වරු දෙකට සිදු කිරීමට නියමිතයි.

කලක් රෝගාතුරව සිටි ඒ මහතා පෙරේදා අභාවප්‍රාප්ත වන විට අසූ තුන් වැනි වියේ පසුවිය. දේහය දැනට කටුගම්පල මාහොලව නිවසේ තැන්පත් කර තිබේ.

1977 මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයා ලෙසද කලක් කටයුතු කළේය. කැබිනට් අමාත්‍ය ධුරයන්ද හෙබවූ ඒ මහතා පසුව වයඹ පළාත් සභාවේ මහ ඇමැති ධුරයටද පත් විය.

2001 දෙසැම්බර් සිට 2003 නොවැම්බර් දක්වා වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යවරයා ලෙසත්, 2015 ජනවාරි සිට 2015 අගෝස්තු දක්වා – ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා ලෙසත්, 2015 සැප්තැම්බර් සිට 2018 පෙබරවාරි දක්වා තිරසාර සංවර්ධන හා වනජීවී අමාත්‍යවරයා ලෙසත්, 2017 අගෝස්තු සිට 2018 ඔක්තෝබර් දක්වා ‘‘බුද්ධ ශාසන’’ අමාත්‍යවරයා ලෙසත් අමාත්‍ය ධුර හෙබවීය.

කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදී ශිෂ්‍යයකු වන ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා 1960 වසරේ එම විදුහලේ ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයද හෙබවීය. ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට සහභාගි වීමට නියමිතය. ජනාධිපතිවරයා පසුගිය 11 දා මාහොලව නිවසට ගොස් රෝගාතුරව සිටි පෙරේරා මහතාගේ සුවදුක් විමසා බැලීය.