ගාල්ල – කරාපිටිය ශික්ෂණ රෝහල, ජාතික රෝහලක් කිරීමට කැබිනට් අනුමැතිය

ගාල්ල – කරාපිටිය ශික්ෂණ රෝහල, ජාතික රෝහලක් කිරීමට කැබිනට් අනුමැතිය

ගාල්ල – කරාපිටිය ශික්ෂණ රෝහල, ජාතික රෝහලක් ලෙස නම් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

අද (23) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේය.

කරාපිටිය ශික්ෂණ රෝහල දකුණු පළාතෙහි සහ යාබද පළාත්වල රෝගීන් හට මාතෘ සත්කාර සේවා හැර තෘතීයක සේවා සපයන ප්‍රධානතම සෞඛ්‍ය මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වන අතර එකී පළාත්වල ප්‍රාථමික හා ද්විතීයික සෞඛ්‍ය සත්කාරක සේවා ආයතන මගින් විශේෂඥ සේවා සඳහා මෙම රෝහල වෙත රෝගීන් යොමු කරනු ලබයි.

රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සහ සම සෞඛ්‍ය විද්‍යා පීඨයේ ඉගැන්වීම් කටයුතු සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලේ මහාචාර්ය ඒකකය ස්ථාපනය කර ඇත.

මෙම වසර අවසන් වන විට රෝහලෙහි ඇඳන් ධාරිතාව 2,858ක් දක්වා වැඩි කිරීම මත එය කොළඹ ශ්‍රී ලංකා ජාතික රෝහලට පමණක් දෙවන වන තෘතීයක සේවා සෞඛ්‍ය මධ්‍යස්ථානයක් බවට පත්වනු ඇතැයි රජය කියයි.

ඒ අනුව, කොළඹ ජාතික රෝහලට සහ මහනුවර ජාතික රෝහලට අමතරව කරාපිටිය ශික්ෂණ රෝහල ජාතික රෝහලක් ලෙස කාණ්ඩ ගත කරමින් ගාල්ල ජාතික රෝහල ලෙස නම් කිරීම පිණිස සෞඛ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබ ඇත.