මත්පැන් නිෂ්පාදනය පහළ වැටී එතනෝල් ලීටර් ලක්ෂ හැටක් ගබඩා වල සිරවෙයි

මත්පැන් නිෂ්පාදනය පහළ වැටී එතනෝල් ලීටර් ලක්ෂ හැටක් ගබඩා වල සිරවෙයි

මත්පැන් නිෂ්පාදනය අඩුවීම හේතුවෙන් ඉස්කාගාර හතක මත්පැන් නිෂ්පාදනයට අවශ්‍ය එතනෝල් ලීටර් ලක්ෂ හැටක් පමණ ගොඩ ගැසී තිබේ.

තවදුරටත් එතනෝල් ගබඩා කිරීමේ පහසුකම් නොමැති වීම නිසා ඉදිරියේදී උක් අස්වනු මිලට ගැනීම සම්බන්ධයෙන් එම ස්කාගාර දැඩි ගැටලුවකට මුහුණ දී ඇත.

පවතින තත්ත්වය යටතේ එතනෝල් ලීටරයක මිල රුපියල් එක්දහස් දෙසීයේ සිට රුපියල් හත්සියය දක්වා අඩු වී තිබේ.

මත්පැන් නිෂ්පාදනය අඩුවීමට මිල වැඩි වීම බලපා තිබෙන අතර එතනෝල් මිල අඩු කළහොත් මත්පැන් නිෂ්පාදන මිල ගණන් පහත දැමිය හැකි හෙයින් ඒ සඳහා ඉඩක් පවතින්නේද යන්න සුරාබදු දෙපාර්තමේන්තුව ඉස්කාගාර සමග සාකච්ඡා වට කිහිපයක්ද පවත්වා ඇත.

එහෙත් පවතින වියදම් අනුව එතනෝල් මිල ගණන් පහත හෙළිය නොහැකි බව නිෂ්පාදකයන් දෙපාර්තමේන්තුවට දන්වා තිබේ.

මත්පැන් මිල ඉහළ යාම නිසා නීතිවිරෝධී මත්පැන් භාවිතය සියයට තිහකින් පමණ ඉහළ ගොස් තිබෙන බව පාර්ලිමේන්තුවේ පැවති මුදල් කාරක සභාවේදී ප්‍රකාශ වී ඇත.

කෙසේ වුව ද මත්පැන් නිෂ්පාදනය අතරතුර ක්‍රියාවලියේදී අය කරන බදු වෙනස් කිරීමෙන් මත්පැන් නිෂ්පාදන මිල සංශෝධනයකට යාහැකිද යන්න ගැන වාර්තාවක් ලබා දෙන ලෙස කාරක සභා සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම්දීමක්ද කර තිබේ.

මේ අතර ස්කාගාර බලපත්‍ර අලුත් කිරීමේ ගාස්තුව දෙකෝටි පනස් ලක්ෂයේ සිට ලක්ෂ දෙක දක්වා අඩු කර ඒ වෙනුවට එතනෝල් ලීටරයක් සඳහා අය කරන රුපියලක බද්ද රුපියල් දෙක දක්වා වැඩි කළ බව දෙපාර්තමේන්තුව කාරක සභාවට දන්වා ඇත.

එමගින් වසරකට රුපියල් කෝටි හතරක ආදායමක් ලැබෙන බවද දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.

Share This