
වන අලි තබ්බෝවට පන්නන්න දැවැන්ත මෙහෙයුමක්
ගම් වැදී සිටි වන අලින් තබ්බෝව අභය භූමිය දක්වා පළවා හැරීමේ මෙහෙයුමක් ලබන 15 වැනිදා සිට අප්‍රේල් මස 10 වෙනිදා දක්වා ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව පුත්තලම දිසා ලේකම් සුනන්ද හේරත් මහතා පැවසීය.
වන අලින් විශාල පිරිසක් ආරච්චිකට්ටුව, මහකුඹුක්කඩවල, ආණමඩුව, පල්ලම, පුත්තලම, නවගත්තේගම සහ කරුවලගස්වැව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල ගම්මානවලට කඩා වැදී සිටින බව මේ වන විට හදුනා ගෙන ඇත.
ඒ අනුව, මාර්තු මස 15 වැනිදා ආරච්චිකට්ටුවෙන් ආරම්භ කරන වන අලි පැන්නීමේ මෙහෙයුම
මහකුඹුක්කඩවල, පල්ලම, ආණමඩුව සහ පුත්තලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හරහා කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තබ්බෝව අභය භූමිය දක්වා ක්‍රියාත්මක වීමට නියමිතව ඇත.
අනතුරුව නවගත්තේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ගම් වැදී සිටින වන අලින්ද අවසාන අදියර වශයෙන් තබ්බෝව අභය භූමිය දක්වා පලවා හැරීමට මෙහිදී නියමිතව ඇත.
මෙම වැඩ සටහනට සමගාමීව තබ්බෝව අභය භූමිය තුළ පිහිටි මයිලන්කුලම – මහසෙන් වැව ප්‍රතිසංස්කරණය කිරීමටද, අලි වැට සක්‍රීය කිරීමටද නියමිත බව පුත්තලම දිසා ලේකම්වරයා කියයි.
අලි වැට ආශ්‍රිතව සෑම කිලෝ මීටර් භාගයකට මුර කුටියක් ස්ථාපනය කිරීමටත්, එම මුරු කුටිය සඳහා සිවිල් ආරක්ෂක භටයින් සහ ග්‍රාමීය කමිටු සාමාජිකයින් යෙදවීමටත් තීරණය කර ඇත.
වන අලි ගම් වැදීම පාලනය කිරීම සඳහා පුහුණු කරන ලද සිවිල් ආරක්ෂක භටයින් 40 දෙනෙකු යෙදවීමටත්, එම සිවිල් ආරක්ෂක භටයින් වෙනත් රාජකාරි සදහා අනියුක්ත නොකිරීමටද තීරණය කර ඇති බවද දිසා ලේකම්වරයා සදහන් කරයි.
වන අලින් පලවා හරින කාලය තුළ අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පොලීසිය සහ වන ජීවී දෙපාර්තමේන්තුව විසින් විශේෂ වැඩ සටහනක් ක්‍රියාත්මක කර ඇති බවද මෙහිදී දිසා ලේකම්වරයා සදහන් කළේය.
ගම් වැදී ඇති වන අලින් පලවා හැරීමේ මෙහෙයුම සඳහා දේශපාලන අධිකාරිය, අදාළ ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ප්‍රාදේශීය සභා, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, පොලීසිය, ගුවන් හමුදාව, යුද හමුදාව, නාවුක හමුදාව සහ ඒ ඒ ප්‍රදේශ වල ප්‍රජා සහභාගීත්වයද ලබාගෙන වන ජීවී දෙපාර්තමේන්තුව විසින් වැඩසටහන ක්‍රියාත්මක කරන බවද දිසා ලේකම් සුනන්ද හේරත් මහතා වැඩිදුරටත් පැවසීය.