ආබාධිත පුද්ගලයන් සඳහා ඡන්දය භාවිත කිරීමට වෙනම හැඳුනුම්පතක්

ආබාධිත පුද්ගලයන් සඳහා ඡන්දය භාවිත කිරීමට වෙනම හැඳුනුම්පතක්

වසර පහක් අවසන් වීමට පෙර ශ්‍රී ලංකාවේ සියලු ආබාධිත සහිත වූවන් සඳහා කිසිදු අපහසුවකින් සහ ගැටලුවකින් තොරව ජන්දය ප්‍රකාශ කිරිමට වෙනම හැදුනුම්පතක් ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් රත්නායක මහතා සඳහන් කරයි.

ඒ අනුව මෙහි නියමු ව්‍යාපෘතිය වශයෙන් දිස්ත්‍රික්ක 10ක් තෝරාගෙන එක් දිස්ත්‍රික්කයකින් පූර්ණ ආබාධිත සහිත වූවන් 500 දෙනෙකු බැගින් එම දිස්ත්‍රික්ක දහයේ මේ වසර ඇතුළත ආබාධ සහිත වූවන්ට ඡන්දය භාවිතා කිරීමට හැඳුනුම්පත් පන්දාහක් සකසා දීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බවද රත්නායක මහතා පැවසීය.

ආබාධිත සහිත වූවන් සඳහා හැඳුනුම්පත් සකසා දීම පිළිබඳව පොළොන්නරු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි ඊයේ (06) වෙනිදා පැවැති වැඩසටහනකදී ඔහු මේ බව පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කරනුයේ 2011 වසරේ සංඝනන සංඛ්‍යා ලේඛන අනුව ලංකාවේ ලක්ෂ 16 කට ආසන්න සංඛ්‍යාවක් ආබාධිත සහිත වූවන් සිටින බවත්, 2023 වසර වනවිට එම සංඛ්‍යාව විශාල වශයෙන් වැඩි වී ඇති බවත්, ඔවුන්ගෙන් අවුරුදු 18ට වැඩි සියලුදෙනාට ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ලබාදීම මැතිවරණ දෙපාර්තමේන්තුවේ වගකීමක් බවයි.

ආබාධිත සහිත වූවන්ගේ නම් ඡන්ද ලේඛනයට ඇතුලත් කිරීමට බොහෝ පවුල් ක්‍රියා නොකරන්නෙ එම ආබාධිත පුද්ගලයන් ඡන්ද මධ්‍යස්ථානයට රැගෙන යෑමට පවතින අපහසු කම් නිසා බවත්. මැතිවරණ දෙපාර්තමේන්තු මගින් හඳුන්වාදෙන හැඳුනුම්පත් හරහා සෑම මැතිවරණයකදීම ඡන්දය භාවිත කිරීමට ඒ තුළින් හැකියාව ලැබෙන බවත්, එබැවින් ඉදිරියේදී කැමති ඕනෑම ආබාධිත අයෙකුට මෙම හැඳුනුම්පත ලබාගැනීමේ හැකියාව පවතින බවත්, මුල් වටයේ පූර්ණ ආබාධිත අයට මෙම හැඳුනුම්පත ලබාදීමට අවශ්‍ය කටයුතු කරන බවත් ඔහු පැවසීය.

ශ්‍රී ලංකාවේ පූර්ණ ආබාධිත සහිත වූවන් සඳහා හැඳුනුම්පත් සැකසීමේදී සර්වෝදය ආයතනය සහ ආබාධ සහිත වූවන් සම්බන්ධ ක්‍රියාකරන ප්‍රධාන ආයතනයක් මූල්‍ය අනුග්‍රහය දක්වන බවත්, 2024 සිට මැතිවරණ දෙපාර්තමේන්තුව මගින් ඊට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් කරන බවද රත්නායක මහතා සඳහන් කළේය.

Share This