නිල තැපැල් ඡන්ද පත්‍රිකා බෙදා හැරීම අද සිට

නිල තැපැල් ඡන්ද පත්‍රිකා බෙදා හැරීම අද සිට

නිල තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකැට්ටු අද (26) තැපෑලට භාරදෙන බව ජාතික මැතිවරණ කොමිසම පවසයි.

තැපැල් ඡන්ද පත්‍රිකා බෙදා දීමේ මධ්‍යස්ථාන ආශ්‍රීතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවයි, එහි සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළේ.

අද සිට නිල තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකැට්ටු අදාළ ගමනාන්ත වෙත යොමුකිරීමට කටයුතු කර බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි .

නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කළේ, ජනාධිපතිවරණය අවසන් වනතුරු සියලු තැපැල් සේවකයින්ගේ නිවාඩු ද අවලංගු කර ඇති බවයි.

මෙවර තැපැල් ඡන්දය සඳහා සුදුසුකම් ලබා ඇති රාජ්‍ය සේවකයින් සංඛ්‍යාව, හත් ලක්ෂ 12,319 කි.

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීම, සැප්තැම්බර් 04 ,05 සහ 06 යන දිනවල පැවැත්වෙයි.

එම දිනවල තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වන රාජ්‍ය සේවකයින්ට සැප්තැම්බර් 11 සහ 12 ඒ සඳහා අමතර අවස්ථාවක් හිමිවනු ඇති.

මේ අතර, නිල ඡන්ද පත්‍රිකා තැපෑලට භාරදීම ලබන 02 වැනිදා සිදුවෙයි.

මැතිවරණ කොමිසම සඳහන් කළේ, ලබන 08 වැනිදා නිල ඡන්ද පත්‍රිකා බෙදීමේ විශේෂ දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති බවයි.