මහ මැතිවරණය නොවැම්බර් 14 – තැපැල් ඡන්ද සඳහා අයදුම්පත් භාරගැනීම අද සිට

මහ මැතිවරණය නොවැම්බර් 14 – තැපැල් ඡන්ද සඳහා අයදුම්පත් භාරගැනීම අද සිට

ඊයේ (24) මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තීරණය කිරීමත් සමග නව පාර්ලිමේන්තුවට අදාල මහ මැතිවරණය නොවැම්බර් මස 14 වැනිදා පැවැත්වීමට නියමිතය.

ඒ අනුව, ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ (24) රාත්‍රියේ නිකුත් කෙරුණු අතර මහමැතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීම ඔක්තෝම්බර් මස 04 වන දින සිට ඔක්තෝම්බර් මස 11 වන දින දහවල් 12 දක්වා කාලය තුළ සිදු කිරීමට නියමිතයි.

එමෙන්ම, 2024 නොවැම්බර් 21 වැනිදා නව පාර්ලිමේන්තුව රැස්විමට නියමිතව තිබේ.

මේ අතර, එළඹෙන මහ මැතිවරණය සඳහා තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අයදුම්පත් භාරගැනීම අද (25) සිට සිදුකෙරෙන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නා­යක මහතා පැවසීය.

ඒ අනුව, දිස්ත්‍රික්ක 22 ක තුළ ම දින 07ක කාලයක් තුළ දී තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමට කටයුතු සලසා ඇති බවයි, කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ.

පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීනව තරග කළ හැකි අපේක්ෂයින්ට මැතිවරණ නාම යෝජනා විවෘත ව පවතින බවද මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් පැවසීය.