තමන්ට එරෙහි නඩු තීන්දුවක් ක්‍රියාත්මක නොකරන්නැයි දුම්කොළ සමාගම නීතිපතිගෙන් ලිඛිතව ඉල්ලලා

තමන්ට එරෙහි නඩු තීන්දුවක් ක්‍රියාත්මක නොකරන්නැයි දුම්කොළ සමාගම නීතිපතිගෙන් ලිඛිතව ඉල්ලලා

ලංකා දුම්කොල සමාගම විසින් හඳුන්වා දුන් නීති විරෝධී රසගන්වන ලද ඩන්හිල් සිගරට්ටුවට එරෙහිව පසුගිය 17 වැනිදා අභියාචනාධිකරණය විසින් ලබා දුන් තීන්දුව ක්‍රියාත්මක කිරීම වලක්වන ලෙස දුම්කොල සමාගම නීතිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා තිබේ.

දුම්කොල සමාගම වෙනුවෙන් පෙනී සිටින සුදත් පෙරේරා, ඇසෝසියේට් නීතිඥ සමාගම නීතිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටින්නේ මෙම තීන්දුව අභියෝගයට ලක් කරමින් සිය සේවා දායකයා ශ්‍රේෂ්ඨාධිකරණයට යන තුරු අභියාචනාධිකරණයෙන් ලබා දුන් තීන්දුව අනුව දුම්කොල හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය විසින් එම නිශ්පාදන අලෙවි කරන්නන් සොයමින් කරන වැටලීම් නවත්වන්නට නියෝග කරන ලෙසය.

අභියාචනාධිකරණයෙන් ලබා දුන් තීන්දුවට හේතුවන ඉතිහාස කතාව මෙසේය.

ඩන්හිල් ස්විච්, ඩන්හිල් ඩබල් කැප්සියුල්, ජෝන් ප්ලේයර් ගෝල්ඩ් ෆ්‍රෝ කූල් නැමැති සිගරට් වර්ග තුන දුම්කොල හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය 2016.09.01 දිනැති අංක 1982/33 දරන අති විශේෂ ගැසට් පත්‍රය ප්‍රකාරව නෛතිකව ප්‍රශ්න කර තිබිණි.

එහිදී ප්‍රධාන වශයෙන්ම රස ගන්නවන ලද ඩන්හිල් සිරගරැට්ටුව අලෙවියට එරෙහිව මාතර අනුරාධපුර කොළඹ දිස්ත්‍රික්කවල නඩු පැවරූ අතර එම නඩු විමසූ මහාධිකරණය මේ රස ගන්වන ලද සිගරට් අලෙවිය තහනම් කරනු ලැබුවේය.

එම තීන්දුව අභියෝගයට ලක් කරමින් දුම්කොල සමාගම අභියාචනාධිකරණයට නඩුවක් ගොනු කළේය. පසුගිය නඩු කටයුතු සැලකිල්ලට ගෙන සිදුකළ දීර්ඝ විමර්ශනයකින් පසු අභියාචනාධිකරණය විසින් 2023.11.17 දින මීට අදාලව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පහළ උසාවියෙන් ලබා දුන් තීන්දුව අනුමත කළේය.

දුම්කොල සමාගම වෙනුවෙන් පෙනී සිටින නීතිඥ සමාගම නීතිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටින්නේ තමන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් මෙම අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව තහනමක් ගන්නා තෙක් එම අධිකරණ නියෝගය ක්‍රියාත්මක වීම වලක්වමින් නියෝගයක් නිකුත් කරන ලෙසය.

සිගරට් විකිණීමෙන් රජයට ලැබෙන සියයට 65ක බදු අදායම අහිමිවීම මේ අවස්ථාවේ රටේ ආර්ථිකයට බරපතල ප්‍රශ්නයක් ඇති කර ඇති නිසා මෙම නියෝගය නිකුත් කිරීම සාධාරණ බව ද දුම්කොල සමාගමේ නීතිඥවරු නීතිපතිවරයාට යෝජනා කර තිබේ.

Share This