කෝටි 888 ක මත්ද්‍රව්‍ය සමග ‘අශේන් පුතා’ මාල­දි­ව­යින් මුහුදේදී කොටුවෙයි

කෝටි 888 ක මත්ද්‍රව්‍ය සමග ‘අශේන් පුතා’ මාල­දි­ව­යින් මුහුදේදී කොටුවෙයි

රුපි­යල් කෝටි 888 කට අධික වටි­නා­ක­ම­කින් යුත් අයිස් හා කොකේන් තොග­යක් සහිත බහු­දින ධීවර යාත්‍රා­වක් සමඟ ශ්‍රී ලාංකික සැක­ක­රු­වන් පස් දෙනකු මාල­දි­ව­යින් මුහුදු සීමාවේ දී මාල­දි­ව­යින් වෙරළ ආර­ක්ෂක බළ­කාය මඟින් පෙරේදා (23) අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

මෙසේ අත්අ­ඩං­ගු­වට ගත් බහු­දින ධීවර යාත්‍රාවේ තිබී රුපි­යල් කෝටි 516 ක් වටිනා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ රුපි­යල් කෝටි 372 ක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සොයා ගෙන තිබේ.

ශ්‍රී ලංකා නාවික හමු­දාව සහ මාල­දි­ව­යින් වෙරළ ආර­ක්‍ෂක බළ­කාය අතර සාර්ථක බුද්ධි තොර­තුරු වුව­මාරු කර ගැනී­මක ප්‍රතිඵ­ල­යක් ලෙස මේ අත්අ­ඩං­ගු­වට ගැනීම සිදු කෙරිණි.

මාල­දි­ව­යින් අනන්‍ය ආර්ථික කලා­පය වෙත “අශේන් පුතා” නම් ශ්‍රී ලංකා­වට අයත් බහු­දින ධීවර යාත්‍රාව ඇතු­ළුවී ඇති බවත්, එම යාත්‍රාව යම් දෝෂ­යක් හෝ ආප­දා­වක් හේතු­වෙන් එම මුහුදු ප්‍රදේ­ශ­යට ඇතු­ළුවී ඇත්ද යන්න සනාථ කරන ලෙසත්, මාල­දි­ව­යින් වෙරළ ආර­ක්‍ෂක බළ­කායේ සමු­ද්‍රිය සෙවීම් හා මුදා­ගැ­නීම් සම්බ­න්ධී­ක­රණ මධ්‍ය­ස්ථා­නය මඟින්, නාවික හමුදා මුල­ස්ථා­නයේ පිහිටි කොළඹ සමු­ද්‍රිය සේවීම් හා මුදා­ගැ­නීම් සම්බ­න්ධි­ක­රණ මධ්‍ය­ස්ථා­නය වෙත දැනුම් දීමක් සිදු කර තිබේ.

එම දැනුම් දීමට වහාම ක්‍රියා­ත්මක වූ නාවික හමු­දාව, එම යාත්‍රාව සම්බන්ධ නාවික හමු­දාව සතු තොර­තුරු පරික්‍ෂා කර ඇත.

නාවික හමු­දාව සතුව පවත්නා බුද්ධි තොර­තුරු අනුව, “අශේන් පුතා” නමැති එම බහු­දින ධීවර යාත්‍රාව මත්ද්‍රව්‍ය ජාවා­ර­මට සම්බන්ධ යාත්‍රා­වක් බවට තොර­තුරු අනා­ව­ර­ණය වී ඇති බැවින්, නාවික හමු­දා­පති වයිස් අද්මි­රාල් ප්‍රියන්ත පෙරේ­රාගේ උප­දෙස් පරිදි එම බුද්ධි තොර­තුරු කඩි­න­මින් මාල­දි­ව­යින් වෙරළ ආර­ක්‍ෂක බළ­කාය සමඟ හුව­මාරු කර ගැනී­මට නාවික හමු­දාව විසින් කට­යුතු කර තිබේ.

නාවික හමු­දාව විසින් ලබා දුන් එම බුද්ධි තොර­තුරු අනුව, මාල­දි­ව­යින් වෙරළ ආර­ක්‍ෂක බළ­කාය විසින් එරට අනන්‍ය ආර්ථික කලා­පය වෙත ඇතුළු වී තිබූ “අශේන් පුතා” මෙරට බහු­දින යාත්‍රාවේ සිදු­කළ විශේෂ සෝදිසි මෙහෙ­යු­ම­කදී, එම යාත්‍රාවේ ප්‍රවා­හ­නය කර­මින් තිබූ අයිස් මත්ද්‍රව්‍ය ක්‍රිලෝ ග්‍රෑම් 344ක පමණ තොග­යක් සහ කොකේන් මත්ද්‍රව්‍ය ක්‍රිලෝ ග්‍රෑම් 124ක පමණ තොග­යක් සමඟ එම බහු­දින ධීවර යාත්‍රාව සහ සැක­ක­රු­වන් 05 දෙනකු මෙලෙස මාල­දි­ව­යින් වෙරළ ආර­ක්‍ෂක බළ­කාය මඟින් අත්අ­ඩං­ගු­වට ගැනී­මට සමත්වී ඇත.

මෙම මෙහෙ­යුම මඟින් අත්අ­ඩං­ගු­වට ගත් සැක­ක­රු­වන් වයස අවු­රුදු 21ත් 37ත් අත‍ර වන දෙවි­නු­වර සහ ත්‍රිකු­ණා­ම­ලය යන ප්‍රදේ­ශ­යන්හි පදිං­චි­ක­රු­වන් බවට අනා­ව­ර­ණය වී ඇති අතර, මෙම මත්ද්‍රව්‍ය තොගය මෙර­ටට රැගෙන එන මත්ද්‍රව්‍ය තොග­යක්ද, නැතහොත් වෙනත් කලා­පීය රාජ්‍ය­ය­කට රැගෙන යන්නක්ද යන්න පිළි­බඳ ඉදිරි විම­ර්ශන කට­යුතු නාවික හමුදා බුද්ධි අංශය සහ මාල­දි­ව­යින් බුද්ධි අංශය එක්ව සිදු කරනු ලබයි.

ධීවර කර්මා­න්තය මුවා­වෙන් මත්ද්‍රව්‍ය ජාවා­රමේ නිරත වන පුද්ග­ල­යන් අත්අ­ඩං­ගු­වට ගැනීම සඳහා කලා­පීය සමු­ද්‍රීය පාර්ශවකරුවන් සමඟ තොර­තුරු හුව­මාරු කර ගනි­මින්, නාවික හමු­දාව ඉදි­රි­ය­ටත් අඛ­ණ්ඩව මත්ද්‍රව්‍ය ජාවා­රම් මැඩ­පැ­වැ­ත්වීමේ මෙහෙ­යුම් සඳහා දාය­ක­ත්වය ලබා දෙනු ලබයි.