වෛද්‍යවරිය දූෂණය කළ සැකකරුගේ තවත් තොරතුරු හෙළිවෙයි

වෛද්‍යවරිය දූෂණය කළ සැකකරුගේ තවත් තොරතුරු හෙළිවෙයි

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක් ලෙස පුහුණු වන වෛද්‍යවරියක සිය නිල නිවාසය තුළදී දූෂණය කිරීමේ සිදුවීමට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුගේ තවත් තොරතුරු මේ වනවිට හෙළිවී තිබේ.

පොලීසිය පවසුවේ, කිරිබණ්ඩලාගේ නිලන්ත මධුරංග රත්නායක නොහොත් කිරිබණ්ඩලාගේ නිලන්ත මධුර රත්නායක වන සැකකරු ගල්නෑව, නවනගරය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි.

34 හැවිරිදි අදාළ සැකකරු චීවරධාරියෙකු ලෙස සිට ඇතැයි ද හෙළිව තිබේ.

ඔහු වෙනත් නඩුවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිට පෙරේදා දිනයේ නිදහස ලබා පැමිණ ඇතැයි ද වාර්තා වේ.

යුද හමුදා සේවයෙන් පළා ගොස් සිට ඇති අතර සැකකරුව ගල්නෑව විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

අදාළ සැකකරු වෛද්‍යවරියව දූෂණය කිරීමෙන් අනතුරුව ඇයගේ දුරකථන දෙකෙන් එකක් රැගෙන පළා ගොස් තිබූ අතර, අනෙක් දුරකථනයෙන් නැතිවූ දුරකථනය තිබෙන ස්ථානය පිළිබඳ ලද සංඥා අනුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකර ඇත.

එහිදී අවුකන දුම්රිය පොළ ආසන්නයෙන් දුරකථන සංඥා නැවතී තිබීම හේතුවෙන් පොලීසිය විසින් එම ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් දැඩි කර ඇත.

එහිදී අදාළ සැකකරු ගල්නෑව, එළබදුගම ප්‍රදේශයේ සැඟව සිටිය දී ගල්නෑව පොලීසියේ විශේෂ කණ්ඩායමක් විසින් සොයාගැනීමට සමත්ව තිබේ.