දික්කසාද නීතිය ඉවත් කර – ‘වරදක් නැති දික්කසාද’ නමින් නව නීතියක්

දික්කසාද නීතිය ඉවත් කර – ‘වරදක් නැති දික්කසාද’ නමින් නව නීතියක්

දික්කසාද නීතිය සම්පූර්ණයෙන් ඉවත් කර ‘වරදක් නැති දික්කසාද (No fault divorces)’ නමින් නව නීතියක් හඳුන්වා දීමට රජය සැලසුම් කරමින් සිටින බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ඊයේ (23) ප්‍රකාශ කළා.

‘වරදක් නැති දික්කසාද’ පනත් කෙටුම්පත මේ වන විට අවසන් කර ඇති බවත් නව පනත් කෙටුම්පත මගින් දික්කසාද නඩු සම්බන්ධයෙන් දීර්ඝ නඩු විභාගයකින් තොරව තීන්දුවක් ලබා දීමට අධිකරණයට බලය පැවරෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

නව අන්‍යෝන්‍ය පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ විදේශ විනිශ්චයන් බලාත්මක කිරීමේ පනත් කෙටුම්පත මගින් දික්කසාද නඩු සම්බන්ධයෙන් විදේශීය අධිකරණ වල ලබාදෙන තීන්දු ශ්‍රී ලංකාවේ අධිකරණ වල පිළිගැනීමට ද ඉඩ සැලසෙන බව ඔහු පවසා සිටියා.

අමාත්‍යවරයා පවසා සිටියේ ඊයේ සම්මත වූ සිවිල් නඩු විධාන සංග්‍රහයේ (සංශෝධන) පනත් කෙටුම්පතට විද්‍යුත් තැපෑල සහ වට්ස්ඇප් වැනි විද්‍යුත් ක්‍රම හරහා දැනුම් දීමේ විධිවිධාන ඇතුළත් වන බවයි.

දික්කසාද නඩු වලදී අනෙක් පාර්ශ්වය වෙනත් රටකට සංක්‍රමණය වී සිටින අවස්ථාවක වගඋත්තරකරුවන්ට නොතීසි ලබාදීමට අපොහොසත් වීම වැනි ප්‍රායෝගික ගැටලු මතුව ඇති බව ඔහු පෙන්වාදුන්නා.