ජීවිත තර්ජන ඇති ජනපති අපේක්ෂකයන්ට විශේෂ ප්‍රභූ ආරක්ෂාවක්

ජීවිත තර්ජන ඇති ජනපති අපේක්ෂකයන්ට විශේෂ ප්‍රභූ ආරක්ෂාවක්

ජීවිත තර්ජන පවතින ජනාධිපති අපේක්ෂකයන්ට විශේෂ ප්‍රභූ ආරක්ෂාව ලබාදීමට රජය තීරණය කර තිබේ.

ජනාධිපති අපේක්ෂකයන්ට ඇති තර්ජන සම්බන්ධයෙන් මේ දිනවල තක්සේරුවක් කරගෙන යන අතර එම තක්සේරුවෙන් අනතුරුව ලැබෙන වාර්තාව පදනම් කරගෙන ජීවිත තර්ජන ඇති අපේක්ෂකයන්ට මෙසේ විශේෂ ආරක්ෂාව ලබාදෙන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.

ජනාධිපතිවරණ කාල සීමාවේදී අපේක්ෂකයන්ගේ ආරක්ෂාව සහ හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අධීක්ෂණය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත විශේෂ කමිටුවක් පසුගියදා පත් කරනු ලැබීය.

එම කමිටුවේ සභාපති ධූරය දරන්නේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාය.

කමිටුව ගන්නා තීරණ අනුව අපේක්ෂකයන්ගේ ආරක්ෂාව වැඩි කිරීමට පියවර ගන්නා බවද එම ප්‍රකාශකයා සඳහන් කළේය.

තර්ජන පවතින අපේක්ෂකයන්ගේ නිවාස වලට මෙන්ම ඔවුන් එහා මෙහා ගමන් කරන අවස්ථාවන්හිදීද ඔවුනට විශේෂ ආරක්ෂාව සැපයීම මේ අනුව සිදුකෙරෙනු ඇත.

එසේම ජනාධිපති අපේක්ෂකයන් සහභාගී වන සියලුම රැස්වීම් සඳහා විශේෂ ආරක්ෂාව සැපයීමටද රජය තීරණය කර ඇත.

මේ සම්බන්ධයෙන් දිවයින පුරා සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් දැනුවත් කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

ජනාධිපතිවරණයට මෙවර අපේක්ෂකයෝ 39 දෙනෙක් ඉදිරිපත් සිටිති.