තවත් ඩිෆෙන්ඩරයක් සහ අධිබල යතුරුපැදියක් මහනුවරින් සොයා ගනී

තවත් ඩිෆෙන්ඩරයක් සහ අධිබල යතුරුපැදියක් මහනුවරින් සොයා ගනී

නියම චැසි අංකය වෙනස් කර ව්‍යාජ චැසි අංකයක් යොදා ව්‍යාජ වාහන අංකයක් සවිකර තිබූ ඩිෆෙන්ඩර් රථයක් සහ ව්‍යාජ අංකයක් සවිකර භාවිතා කළ අධිබල යතුරුපැදියක් මහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම ඩිෆෙන්ඩර් රථය අස්ගිරිය ප්‍රදේශයෙන්ද යතුරුපැදිය කටුකැලේ ප්‍රදේශයෙන්ද අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් ඩිෆෙන්ඩර් රථය රජයේ රස පරීක්ෂකවරයාට ඉදිරිපත් කිරීමෙන් පසු එම වාහනය නිෂ්පාදනය කිරීමේදී කර්මාන්ත ශාලාවෙන් යොදන චැසි අංකය වෙනස් කොට වෙනත් චැසි අංකයක් තෙරපා ඇති බවට රජයේ රස පරීක්ෂකවරයා විසින් වාර්තාකොට තිබෙන බව පොලිසිය කියයි.

ඒ අනුව, එම ඩිෆෙන්ඩර් රථය භාවිතා කළ බව කියන මහනුවර අස්ගිරිය ප්‍රදේශයේ ධම්මසිද්ධි මාවතේ පදිංචිකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය කියයි.

මහනුවර කටුකැලේ ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් ව්‍යාජ අංක තහඩු සවිකල අධිබල යතුරුපැදිය සම්බන්ධයෙන්ද පුළුල් විමර්ශන ආරම්භ වී ඇති අතර එම යතුරුපැදිය අශ්ව බල 650 ක යතුරුපැදියක් බව පවසන පොලිසිය ඊට අශ්ව බල 250 අංක තහඩු යොදාගෙන භාවිතා කර ඇති බව පොලීසිය කියයි.

එම යතුරුපැදියේ හිමිකරු මේ වන විට විදේශගතව ඇති බව පවසන පොලීසිය එම යතුරුපැදිය රජයේ රස පරීක්ෂකවරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන සිදුකිරීමට නියමිතය.