දයාසිරිලාගේ සහය සජිත්ට

දයාසිරිලාගේ සහය සජිත්ට

මෙවර ජනාධිපතිවරණයේදී සිය පක්ෂයේ සහය සමගි ජන බල වේගයට ලබාදෙන බව මානුෂීය ජනතා සන්ධානයේ ප්‍රචාරක ලේකම් සමන් ප්‍රියන්ත විජේවික්‍රම මහතා අද (30) පෙරවරුවේ කරන්දෙණියේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

මානුෂීය ජනතා සන්ධානයේ නායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතාගේ පූර්ණ අනුමැතිය සහ අනුබලය මේ සදහා ලැබී ඇති බවද විජේවික්‍රම මහතා කීය.

සමගි ජන බල වේගයේ නායක විපක්ෂ නායක ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සමග සිය පක්ෂය සාකච්චා වට කිහිපයක්ම පැවැත්වූ බවත් ඒ හැම සාකච්චා වටයක්ම ඉතා සාර්ථක අන්දමින් නිමාවට පත්වීමත් සමගම මේ නව තීරණයට මානුෂීය ජනතා සන්ධානය පැමිණි බවද විජේවික්‍රම මහතා කීවේය.

මේ රට ගොඩගත හැකි දැනට සිටින එකම නායකයා සජිත් ප්‍රේමදාස මහතා බවත් මේ වනවිට මේ රටේ ජනතාව වැඩියෙන්ම සමීපව ඇත්තේ ප්‍රේමදාස මහතා වටා නිසාත් සිය පක්ෂයට මේ තීරණය ගැනීමට පහසු වූ බවද විජේවික්‍රම මහතා පැවසුවේය.

මෙවර ජනාධිපතිවරණයේදී අනිවාර්‍යයෙන්ම ජනාධිපතිවනුයේ සමගි ජන බල වේගයේ සජිත් ප්‍රේමදාස මහතා බවත් එම ජනතා තීන්දුවට සිය පක්ෂයද හිස නමා ආචාර කරන බවත් එසේ ආචාර කරන ගමන්ම සිය පක්ෂයද ඊට දායකවූවේ යයි කියන සතුට පක්ෂයේ නායක දයාසිරි ජයසේකර මහතා සමග පක්ෂ සාමාජිකයන්ද භුක්ති විදින බවද විජේවික්‍රම මහතා කිවේය.

මානුෂීය ජනතා පක්ෂය සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුලු පක්ෂ විසිදෙකක් මේ වනවිට සන්ධානගතවී ඇති බවත් මේ සියලු පක්ෂයන්ගේ නායකයා ලෙස දයාසිරි ජයසේකර මහතා කටයුතු කරන බවත් මෙවර ජනාධිපතිවරණයේදී ඒ මහතාගේ පූර්ණ ආශීර්වාදයෙන් සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපතිවීමට සිය පක්ෂයෙන් විශාල දායකත්වයක් ලැබෙන බවත් විජේවික්‍රම මහතා කීය.

මෙවර ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ, ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක යන මහත්වරුන්ට මානුෂීය ජනතා සන්ධානයේ කිසිදු සහයක් නොලැබෙන බවත් පූර්ණ සහාය සමගි ජන බල වේගයේ සජිත් ප්‍රේමදාස මහතාට පමණක් බවත් එම සහයෝගය ලබාදීමේ ගිවිසුම ඉදිරි දින කිහිපයේදී අත්සන් කරනු ලබන බවත් විජේවික්‍රම මහතා මෙහිදී වැඩිදුරටත් කීවේය.