අධිකරණයට අපහාස කළ නීතිඥවරියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

අධිකරණයට අපහාස කළ නීතිඥවරියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

නීතිඥ වෘත්තීයේ නිරත වීම තහනම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබියදී එම නියෝගය උල්ලංඝනය කරමින් අදාළ වෘත්තීයේ නිරත වීම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා එල්ල වී සිටින කැකිරාව ප්‍රදේශයේ පදිංචි නීතිඥවරියකට අධිකරණයේ අවසරයකින් තොරව විදේශගත වීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (26) නියෝගයක් නිකුත් කළේය.

මෙම නීතිඥවරියට අදාළ පැමිණිල්ල ඊයේ එස්. තුරෙයි රාජා, කුමුදුනී වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එම අවස්ථාවේදී වග උත්තරකාර නීතිඥවරිය අධිකරණය ඉදිරියේ පෙනී සිටි අතර නීතිපතිවරයා විසින් කෙටුම්පත් කර තිබූ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට අදාළ චෝදනා පත්‍ර ඇයට විවෘත අධිකරණයේ කියවා භාරදුන්නාය.

පසුව අධිකරණය කළ විමසීමකදී වගඋත්තරකාර නීතිඥවරිය සඳහන් කළේ, තමන් අදාළ චෝදනාවලට නිවැරදිකාරිය බවය.

කැකිරාව නීතිඥ මණ්ඩලයේ නිලධාරියෙක් තමන් හා අමනාපයෙන් පසුවන බවත් තමන්ගෙන් පළිගැනීම සඳහා මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙන බවත් අදාළ නීතිඥවරිය අධිකරණය හමුවේ පැවසුවාය.

ඒ අනුව, අදාළ චෝදනා පත්‍රය සැප්තැම්බර් මස 24 වන දා විභාගයට ගැනීමට නියෝග කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල වගඋත්තරකාර නීතිඥවරියට අධිකරණයේ අවසරයකින් තොරව විදේශගත වීම තහනම් කරමින් නියෝගයක්ද නිකුත් කළේය.

සාමාන්‍යයෙන් මෙවැනි චෝදනා එල්ල වී ඇති අවස්ථාවක වගඋත්තරකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීම සාමාන්‍ය ක්‍රමවේදය වුවත් මෙම වගඋත්තරකාර නීතිඥවරිය පිළිකා රෝගයෙන් පෙළන බවට කරුණු ඉදිරිපත් වීම හේතුවෙන් එම කරුණ සැලකිල්ලට ගෙන ඇය මුදාහරින බවත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල සඳහන් කළහ.

කැකිරාව මහෙස්ත්‍රාත් අධිකරණයේ තිබූ නඩු ගොනුවකට හානි කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් විභාගයක් පැවැත්වීමට තීන්දු කර ඇති ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නීතිඥවරියට නීතිඥ වෘත්තීයේ නිරත වීම වළක්වාළමින් ඉකුත් මාර්තු මස 22 වනදා නියෝගයක් නිකුත් කර තිබුණි.

එසේ තිබියදී අදාළ නීතිඥවරිය මාර්තු මස 25 වන දා කැකිරාව මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ පිහිටි සිය කාර්යාලය විවෘත කොට සිය නාම පුවරුවද ප්‍රදර්ශනය කරමින් සිවකුමාර් සිවන් නමැති සේවාදායකයෙකු කාර්යාලයට කැඳවා උපදෙස් ලබා දී මුදල් ලබාගෙන තිබීම තුළින් ඇය ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය උල්ලංඝනය කොට චේතනාන්විතවම අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවට චෝදනා කරමින් ඇයට එරෙහිව මෙම චෝදනා පත්‍ර ගොනුකර තිබුණි.