අත්අඩංගුවට ගත් අයෙකුගේ ලිංගේන්ද්‍රියට නයි මිරිස් දාලා – නඩුවට පොලිසිය වෙනුවෙන් පෙනී සිටින්න නීතිපති බෑ කියයි

අත්අඩංගුවට ගත් අයෙකුගේ ලිංගේන්ද්‍රියට නයි මිරිස් දාලා – නඩුවට පොලිසිය වෙනුවෙන් පෙනී සිටින්න නීතිපති බෑ කියයි

තෙල්දෙණිය පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවකුගේ ලිංගයට නයි මිරිස් දියකර වත් කිරීමේ සිද්ධියට අදාලව තරුණයකු ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ තෙල්දෙණිය පොලිස්ථානාධිපතිවරයා ඇතුලු පොලිස් නිලධාරීන් වෙනුවෙන් නීතීපතිවරයා පෙනී නොසිටින බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද (14) දැනුම් දුන්නේය.

මෙය ඉතාම බරපතල සිද්ධියක් වන හෙයින් වගඋත්තරකාර පොලිස් නිලධාරීන් වෙනුවෙන් නීතීපතිවරයා පෙනී නොසිටීමට තීරණය කර ඇතැයී දැනුම් දුන් නීතීපතිවරයා නියෝජනය කරමින් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා මෙම මුලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවකු වශයෙන් නම් කර ඇති නීතිපතිවරයා වෙනුවෙන් පමණක් තමන් පෙනී සිටින්නේ යැයි කීය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන යසන්ත කෝදාගොඩ සහ කුමුදුණී වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඬුල්ල හමුවේ පෙත්සම කැඳවිණී.

රුවන් ශාන්ත ප්‍රියදර්ශන නමැත්තා ගොනු කළ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් පොලිස්පතිවරයා, තෙල්දෙණිය මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා, නීතිපතිවරයා, ඇතුළු 11 දෙනකු පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම් කර ඇත.

තෙල්දෙනිය පොලිසියේ නිලධාරීන් විසින් 2023 ජනවාරි 27 වැනිදා තමන් අත්අඩංගුවට ගෙන නීතිවිරෝධී අන්දමින් රඳවා තබා ගෙන තමන්ට වදහිංසා කළ බව සඳහන් කරන පෙත්සම්කරු මේ පිළිබඳව තමන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළ බවත් ස`ඳහන් කර ඇත.