රජරට සරසවියේ උපකුලපති ඇතුළු 23කට ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග
ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපති පත් කිරීමේ ඡන්ද විමසීමේදී උපකුලපතිවරිය නීති විරෝධීව සිය ඡන්දය ප්‍රකාශ කර විශ්වවිද්‍යාල පනත උල්ලංඝනය කරමින් අදාළ පීඨයට පීඨාධිපතිවරයකු අනීතිකව තෝරා ගත් බවට මහාචාර්යවරයකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති මූලික මිනිස් අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරිය ඇතුළු වගඋත්තරකරුවන් 23 දෙනකුට ලබන අගෝස්තු මස 27දා ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කර තිබේ.
මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාළ උත්තර සති හතරක් ඇතුළත ගොනු කරන ලෙසට වගඋත්තරකරුවන්ට තවදුරටත් නියෝග කළ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල වගඋත්තරකරුවන්ගේ විරෝධතා වලට අදාළ ප්රතිවිරෝධතා ඉන් දෙසතියක් ඇතුළත ගොනු කරන ලෙස පෙත්සම්කාර පාර්ශ්වයට නියෝග කරනු ලැබීය.
ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ නියෝග කළේ ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයකු වන මංජුල මහින්ද රණගල මහතා ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා මඟින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ප්‍රීති පද්මන් සූරසේන, කුමුදුනී වික්‍රමසිංහ සහ අචල වෙන්ගප්පුලි යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ සලකා බැලීමෙන් අනතුරුවය. ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා මඟින් සිය මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරමින් පෙත්සම්කාර මහාචාර්ය මංජුල මහින්ද රණගල මහතා සඳහන් කළේ රජරට විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපති තනතුර සඳහා තමා සහ තවත් මහාචාර්යවරයකු අපේක්ෂකයන් ලෙස තරග කළ බවයි.
ඒ සඳහා ඡන්ද විමසීමක් පැවැති බවත් එකී ඡන්ද විමසීම සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා තිබුණේ රජරට විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨයේ අංශාධිපතිවරුන්, ස්ථීර කථිකාචාර්යවරුන් සහ බාහිර සාමාජිකයන් තිදෙනකු බවත් ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රකාශ කළ පෙත්සම්කාර මහාචාර්යවරයා අදාළ ඡන්ද විමසීමේදී ඡන්දය ප්‍රකාශ කිරීමට 59 දෙනකු සුදුසුකම් ලබා සිටි බවත් ඉන් දෙදෙනකු ඡන්දය ප්‍රකාශ කිරීමට නොපැමිණි බවත් එක් අයකු සිය ඡන්දය අවලංගු කළ බවත් සඳහන් කළේය.
ඒ අනුව පාවිච්චි කළ මුළු ඡන්ද සංඛ්‍යාව 56ක් බව ද ස්වකීය මූලික අයිතිවාසිකම් පෙත්සම මඟින් ශ්‍රේෂඨාධිකරණයට දැනුම් දුන් පෙත්සම්කාර මහාචාර්ය මංජුල මහින්ද රණගල මහතා එහිදී තමා සහ ප්‍රතිවාදී මහාචාර්යවරයා ඡන්ද 28 බැගින් සමාන ඡන්ද ලබා ගත් බව ද කීවේය.
ඉදිරිපත් වූ අපේක්ෂකයන් දෙදෙනාම සමාන ඡන්ද ලබා ගත් අවස්ථාවේ ජ්‍යෙෂ්ඨත්වය සලකා අදාළ අපේක්ෂකයාට තමාගේ ඡන්දය ලබා දෙන බව පවසමින් පළමු වගඋත්තරකාරිය වන රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරිය සිය ඡන්දය මහාචාර්ය සමන්ත ඒකනායක මහතාට ලබා දුන් බවට නිවේදනය කළ බව ද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන් මහාචාර්ය මංජුල මහින්ද රණගල මහතා ඒ අනුව නව පීඨාධිපතිවරයා ලෙස මහාචාර්ය සමන්ත ඒකනායක මහතා තෝරා පත් කර ගත් බවටද පළමු වගඋත්තරකාර උපකුලපතිවරිය විසින් තවදුටරත් නිවේදනය කළ බව ද සැල කර සිටියේය.
පීඨාධිපති තනතුර සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන් දෙදෙනකු එක හා සමාන ඡන්ද ලබා ගන්නා අවස්ථාවකදී තමාගේ ඡන්දය ජ්‍යෙෂ්ඨත්ව සලකා ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළම අපේක්ෂකයාට ලබා දෙන බවට ප්‍රකාශ කර සිය ඡන්දය ප්‍රකාශ කිරීමට විශ්වවිද්‍යාල පනත ප්‍රකාරව උපකුලපතිවරියට කිසිදු නීතිමය අයිතියක් නැති බව ද ශ්‍රේෂ්ඨාධිකරණයට අවධාරණය කළේය.
මෙම අනීතික ක්‍රියාව තුළින් රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරිය විශ්වවිද්‍යාල පනත මුළුමනින්ම උල්ලංඝනය කර ඇති බව ද සඳහන් කළේය.
මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සංජීවනී ගිනිගද්දර, එම විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන පීඨයේ පීඨාධිපති මහාචාර්ය පී.එම්.බී. ජයන්ත, කෘෂිකර්ම පීඨයේ පීඨාධිපති මහචාර්ය ජී. වී. ටී. වී. වීරසූරිය, තොරතුරු තාක්ෂණ පීඨයේ පීඨාධිපති ආචාර්ය ටී. සී. බමුණුආරච්චි, වෛද්‍ය හා සමාන්තර පීඨයේ පීඨාධිපති ආචාර්ය පී. එච්. ජී. ජේ. පුෂ්පකුමාර, ව්‍යවහාරික විද්‍යා පීඨයේ පීඨාධිපති ආචාර්ය ඩබ්. එම්. එස්. ප්‍රනාන්දු, කළමනාකරණ අධ්‍යයන පීඨයේ මහාචාර්ය ඊ. එම්. සමන්ත ඒකනායක, රජරට විශ්වවිද්‍යාලයේ වැඩ බලන ලේඛකාධිකාරි එස්. එච්. වයිස්වුකරනී, ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරි සුදත් සංජීව යන මහත්ම මහත්මීහූ සහ නීතිපතිවරයා ඇතුළු 23 දෙනෙකි.